Showing posts with label මගුල් මහා විහාරය. Show all posts
Showing posts with label මගුල් මහා විහාරය. Show all posts

Monday, July 18, 2016

මගුල් මහා විහාරය



කාවන්තිස්ස රජුගේත්  විහාර මහා දෙවියගේත් අභිෂේකය සිදු වූ තැන හැටියට සැළකෙන මගුල් මහා විහාරය, වර්තමාන යාල අහය භූමිය ඇතුළත පිහිටා ඇත. යාල එදා වනයක් නොව ජනපදයකි. 


මෙම ස්ථානය ක්‍රි පූ දෙවන සියවස තරම් ඈතට දිව යන බවට සාක්ෂිවලින් සනාථ ව ඇත. මෙතැනට  ගෝටයිම්බර සෙනෙවියාගේ මුණුබුරකු වූ චුල්ලතිස්ස නම් ප්‍රධානියා (පරුමකවරයා) ලෙන් පූජාවක් කර ඇති බවට සෙල් ලිපියක් සාක්ෂි දරයි. 

මගුල් මහා විහාරය නමින් පොදු වහරේ හැඳින්වෙන ස්ථාන දෙකක් ඇත. අනෙක පිහිටා ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල ප්‍රදේශයේය. එහෙත් එය මීට පසු කාලයකට අයත් වුවකි. එය   කාවන්තිස්ස -විහාර මහා දේවි යුවලට ඈඳීමට හේතුව, එහි ඇති සෙල් ලිපියක කියවෙන විහාර දේවිය, විහාර මහා දේවිය ලෙස වරදවා ගැනීමයි. මේ විහාර දේවිය යනු සිව් වැනි සේන රජුගේ බිසවයි. 

ඒ අනුව කාවන් තිස්- විහාර මහා දේවි යුවළට සම්බන්ධ ස්ථානය මෙම යාල තුළ පිහිටි මගුල් මහා විහාරය බව පිළිගැනේ. එහෙත් මීට එකඟ නොවන විද්වත්හුද සිටිති. මේධානන්ද හිමියන් පවසන්නේ මෙකී අභිෂේකය සිදු වුයේ, ආරුගම් බොක්ක අසල ප්‍රදේශයේ පිහිටා ඇති මනි නාග පබ්බත විහාරයේ බවයි.