Showing posts with label පූර්ව ඓතිහාසික. Show all posts
Showing posts with label පූර්ව ඓතිහාසික. Show all posts

Friday, September 2, 2016

පොම්පරිප්පුව: වැළලී ගිය පූර්ව ඓතිහාසික ජනපදයක්

මන්නාරම ආසන්නයේ, විල්පත්තු අභය භූමියට මායිම්ව ඇති පොම්පරිප්පුව තරමක් ප්‍රකටව ඇත්තේ එහි සොයා ගෙන ඇති පූර්ව ඓතිහාසික සුසාන භූමිය නිසාය. එහෙත් මේ අවට  ප්‍රදේශය තවත් අප්‍රකට ඓතිහාසික තොරතුරු රාශියක් සඟවා ගත පෙදෙසකි. විජය කුමරු ගොඩබැස්ස බවට සැළකෙන තම්මන්නාවද මේ අසළය. විජය කුමරු ඓතිහාසික චරිතයක් වුවද නැතද තම්මැන්නාව ඉපැරණි යුගයේ පටන්ම නැව් තොටකි. මේ පෙදෙසට නිරන්තරයෙන්ම සංක්‍රමණිකයන් පැමිණි බවට විද්වත්හු කඩඉම් පොත්වලින් සාක්ෂි දක්වති. කුවේණියගේ මාළිගාව වර්තමාන විල්පත්තු භූමියේ පිහිටා තිබුණු බව ජනප්‍රවාදවල කියැවේ. අතීත උරුවේල ජනපදය මේ බවද කියැවේ. විජය කුමරු ගොඩ බට බවට සැළකෙන කුදිරමලයද මීට ආසන්නය. එහි ප්‍රාග් ඓතිහාසික ජනාවාසයක් පැවති බවට සාධක ඇත. විජය ගොඩ බසින කල පැවති සිරිසවත්ථුපුරයද මීට ආසන්න ප්‍රදේශයක් විය හැකියැයි ඇතැමෙක් සිතති. තවත් ඇතැමකු සිතන්නේ එළාර රජුගේ දීඝ ජන්තු සෙනෙවියාගේ ඉල්ලීම අනුව යුද්ධයට පැමිණි භල්ලුකගේ සේනාව මේ ප්‍රදේශය ඔස්සේ රට තුළට ගිය බවයි. කෝට්ටේ යුගයේදී මලල දේශයෙන් පැමිණි පිරිසකට වීර පරාක්‍රමබාහු රජු මේ ප්‍රදේශයෙන් ඉඩම් දුන් බවටද කඩඉම පොත්වල කියැවේ. 

පොම්පරිප්පුව සොහොන් බිමෙහි කළ ගවේෂණවලින්, මිනිස් ඇට කටු සහිත විශාල මැටි බඳුන් සොයාගෙන ඇත. ඊට අමතරව තබක්ක අංජන කූරු කිහිපයක්ද සොයාගෙන ඇත. මේ ප්‍රදේශය ආසන්නයේ සිරිසවත්ථු සහ ලංකාපුර යන යක්ෂ නගර දෙක පිහිටා තිබෙන්නට ඇති බව ඇතැමකුගේ මතයයි. මේ එක බඳුනක මිනී ඔලුවක්ද හමු වී ඇත. විජය එනවිට කුවේණිය කපු කටිමින් සිට මුණ ගැසුණු ප්‍රදේශය, පොම්පරිප්පුවට සැතපුම් තුනක් පමණ දකුණින් ඇති එළුවන්කුලම බව කියැවේ.

(මුදියන්සේ දිසානායක, ඓතිහාසික වන්නියේ සංස්කෘතිය ඇසුරිනි)

Tuesday, July 5, 2016

දඩයක්කාරයාගේ සංක්‍රාන්තිය

(උපුටා ගැනීම ලංකාදීප 2016 මාර්තු මස 17)


2016 පෙබරවාරි 20 වැනිදා සිට කල්තොට දියවින්න උඩුපියන් ගල් ලෙනෙහි සිදුකරන පුරාවිද්‍යාත්මක කැනීම් මගින් ශ‍්‍රී ලංකාවේ ජීවත් වූ දඩයම් යුගයේ මානවයා ක‍්‍රමයෙන් ගොවි යුගයකට අවතීරණය වූ සැටි පෙන්නුම් කෙරෙන ඉතා වැදගත් තොරතුරු රැසක් මේවනවිට අනාවරණය වී ඇති බව කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා පෙන්වා දෙයි.

ලංකාදීප පුවත්පතට මේ පිළිබඳ දීර්ඝ පැහැදිලි කිරීමක් කරමින් ඒ මහතා මේ බව පැවසූවේ අප එහි සිදුකළ සංචාරයකදී ය. මෙරට මානව ශිෂ්ටාචාරයේ සංක‍්‍රාන්තික දියුණුවක් පිළිබඳ සාක්‍ෂි ගොණු කිරීමේ වසර 15ක පමණ පර්යේෂණ කටයුත්තක 9 වන වසර මේ වනවිට තමන් ගත කරමින් සිටින බවත් මේ දිනවල කැනීම් සිදුකරන මෙම උඩුපියන් ගල්ලෙන එහි එක් අවස්ථාවක් බවත් සඳහන් කළ රාජ් සෝමදේව මහතා මෙහිදී සෝයාගත් දේ ඇසුරින් ඉතා වැදගත් තොරතුරු රැුසක් අපට හෙලි කළේය.

මෙහිදී සොයාගත් දෑ අතර බිම් වීදුරු ගල්, නියන් ආයුධ, උල් ආයුධ, සත්ව දත්, අශ්ථි උල් ආයුධ, පැවති අතර ආහාරයට ගත් බෙල්ලන්ගේ කොටස්, පිළිස්සුණු ධාන්‍ය ඇට වර්ග හමුවීම ද විශේෂත්වයකි. මේ මොහොතවන විටත් කැනීම් සිදුවන මෙම ලෙන් පරිශ‍්‍රය තුළින් මතුවන යටගියාව පිළිබඳ මහාචාර්ය රාජ් සොම්දේව මහතා අපට පැවසූයේ මෙවන් දීර්ඝ අදහසකි.

‘අපි මේ පර්යේෂණය කරන්නේ හුදෙක් බළන්ගොඩ මානවයා ගැන සෙවීමට කියල ඇතැම් මාධ්‍ය අනාවරණය කිරීම වැරදියි. මේ රටේ අවුරුදු එක්ලක්‍ෂ විසිපන්දාහක (1,25,000) පමණ කාලයක් තිස්සේ ජීවත් වෙච්චි ඒ ගල් යුගයේ මිනිස්සු කවදද අපේ දියුණු ඉතිහාසයක් දෙසට දියුණු සංස්කෘතියක් දෙසට නැමියාවක් ලබාගෙන පරිවර්තනය වුණේ කියන එකයි වැදගත්. අපි කවුරුත් දන්නෙ බළන්ගොඩ මානවයා කියන පොදු නමින් හඳුන්වන ඒ පරණ මිනිස්සු කැලයට වෙලා සත්තු මරාගෙන කෑ බව. එතකොට ඔය අල වර්ග හාරගෙන ගෙඩි වර්ග හොයාගෙන කෑ බව.

නමුත් අපි විශ්වාස කරනවා යම්කිසි කාලෙක ඒ ගොල්ලන් ඒ දඩයම අඩු කරලා තැන් තැන්වල ඇවිද ආහාර එකතු කරන එකත් අඩු කර ඒ වෙනුවට ධාන්‍ය වර්ග, කැලේ ඉබේ හැදෙන වල් වී වර්ග, නොයෙක් වල් තෘණ වර්ගවල ඇට ගෙනල්ලා ඒ ඇට පරිහරණය කළ බව. ඒවා කන්න පුරුදුවෙන්න යම් කිසි පෙළඹවීමක් ලබා ගත්තාය කියල. ඕනෑම සමාජයක් ඒ විදියට ශාක ආහාරවලට පරිවර්තනය වෙන කොට ඒක තමයි ඒ සමාජයේ ශිෂ්ටාචාරයේ මුල හැටියට සලකන්නෙ. එතැනින් තමයි ඒ ගොල්ලන් ගොවියන් බවට පරිවර්තනය වෙන්න ඕනෑකරන පළමුවැනි නැම්ම ලබාගන්නෙ. ඉතින් මේ පර්යේෂණ ව්‍යාපෘතිය කරන්නේ මෙතන බළන්ගොඩ මානවයා ඉන්න ඇති කියන බොහොම සරල කතාවක් කියන්න නෙවෙයි’

‘අපි දන්නවා බළන්ගොඩ ප‍්‍රාග් ඓතිහාසික මානවයා මෙහි හිටපු බව. නමුත් අපි ඊට වඩා විශේෂ ප‍්‍රශ්නෙකට උත්තර හොයනවා. ඒ මොකක්ද?, කොයි කාලෙදී ද මේ දඩයක්කාරයන් ගොවියන් බවට පරිවර්තනය වෙන්න අවශ්‍ය මූලික වෙනස්කම ඇතිකර ගත්තේ, ඒකට බලපෑ හේතු මොනවද ඒ ප‍්‍රශ්න විසඳන එක ඉතා වැදගත්. මොකද අපි හිතාගෙන ඉන්නව, අපිට කියල දීල තියෙනව ඉතිහාසයෙන්, අපි කෘෂිකර්මය වී වගාව පටන්ගත්තේ ඉන්දියාවේ අභාෂයෙන් කියල. නමුත් අපිට පේනවා අපි ඉළුක්කුඹුරේ කළ කැනීම්වලදී (2015 වර්ෂයේ) අපට වල් වී වර්ග හම්බවුණා, ගල් මෙවලම් සමග. ඒවා කාල නිර්ණය කළා අපි ඇමරිකාවට යවා. ඒවා අවුරුදු 6350ක් පරණයි. එතකොට මේ රටේ හිටපු දඩයක්කාරයන් අවුරුදු 6350ක් එපිට කාලයකදී මේ කැලෑවල තිබුණු වල් වී වර්ග, වල් ඇට වර්ග, කන්න පුළුවන් දේ පුළුස්සා කන්න පටන් ගත්තා. ඒ ගොල්ලන් තමයි ඒ දේශීය දැනුම දීමට මහන්සි ගත්තෙ. ඉතිං අපි දැන් හොයල බලන්නේ, ඇයි දඩයක්කාරයන් එහෙම වෙනස් වුණේ, දිගටම දඩයමේ ම යෙදිල ඉන්නේ නැතිව ඇයි ශාක ආහාරවලට වෙනස් වුණේ? ඒ කාලය මොකක්ද, එහෙම වෙනස් වෙන්න හේතු මොනවද? ඒ ගොල්ලන් කාපු මුල්ම ධාන්‍ය වර්ග මොනවද? ඒ වගේ සංකීර්ණ ප‍්‍රශ්නෙකට උත්තර සොයන්නයි අපි මේ කැනීම කරගෙන යන්නෙ. දැන් අපිට සාර්ථක ප‍්‍රතිඵල ලැබි තියෙනවා. අපිට ඉළුක්කුඹුර ප‍්‍රදේශයේ දී හම්බවුණා පිළිස්සුණු ධාන්‍ය වර්ග, ඉළුක්කුඹුර තියෙන්නේ බළන්ගොඩ තෙත් දේශගුණික කලාපයේ. ඊට පස්සේ අපි මෙතනට ආවා.

මේ බළන්ගොඩ වියළි දේශගුණ කලාපයත් තෙත් කලාපයේ සිද්දවෙච්ච දේම වියලි කලාපයේත් සිදුවී තිබෙනවා. ඒ සිද්ධවෙච්ච ආකාරයෙන් අපිට පේනවා මේ මිනිස්සු ප‍්‍රාදේශීය වශයෙන් තිබිච්ච ආහාර සම්පත්වලට අනුවර්තනය වී තිබෙන බව. ඉළුක්කුඹුර ප‍්‍රදේශය ගත්තාම වැඩිපුර තියෙන්නේ දික්කැකුණ ඇට එතකොට සත්ව ආහාර විදියට කුඩා සත්තු මීමින්නෝ උණහපුළුවා වගේ සත්තු කුරුල්ලන් වැනි සතුන් තමයි දඩයම් කර තියෙන්නෙ. දැන් අපි මේ උඩුපියන් ගල්ගෙට ආවම ලොකු සතුන් මරනවාට වැඩිය ඒ ගොල්ලො වැඩි ප‍්‍රියමනාප භාවයක් දක්වලා තියෙන්නේ ගොළුබෙල්ලන් ආහාරයට ගන්න. මොකද මේ දිය කඩිතිවල ගස් ගොළුබෙල්ලො, මිරිදිය ගොළුබෙල්ලො ඕනෑතරම් ඉන්නව. මේ ගොල්ලන් දඩයම් කරනවාට වැඩිය ගොළුබෙල්ලන් කන්න රුචිකත්වයක් දක්වා තිබෙන්නේ පහසුවෙන් ලබාගන්න පුළුවන් නිසයි. මුවකු දඩයම් කරන්න ගියාම පස්සෙ එළවන්න ඕනෑ. උගුල් අටවන්න ඕනෑ. හරි කරදරයි. බෙල්ලාගේ ඇට නෑ බොහොම පහසුවෙන් ගලවා ඇවිත් පුළුස්සන් කන්න පුළුවන්. ප්‍රෝටීන ප‍්‍රමාණය වැඩියි. ඉතිං මේ ගොල්ලන් මෙහෙදි ඒකට රුචිකත්වයක් දක්වා තිබෙනවා’
‘‍ඉතිං අපි රටට කියන්න යනවා අපේ ඉතිහාසය සකස් වුණේ කොහොමද කියල. අපේ මිනිසුන් ප‍්‍රාදේශීය වශයෙන් සම්පත් පරිභෝජනය කළා. ඒක තමයි අපේ ආර්ථික ආකෘතිය. මෙයින් අපිට ගන්න පාඩම් තියෙනවා. මේක අදට වුණත් අපිට කරන්න පුළුවන් දෙයක්. ඇයි ප‍්‍රාදේශික තියෙන සම්පත් වලින් අපිට ජීවත් වෙන්න බැරි.’’
‘‘ඉතිං ඒ නිසා අපි මේ කරන පර්යේෂණය එක් පැත්තකින් ඉතිහාසය අර්ථ ගැන්වීමක්. අනෙක් පැත්තෙන් ඒ දැනුම වර්තමානයට ප‍්‍රයෝජනය ගැනීමත් එහෙම නැත්නම් අපි ජාතික වශයෙන් වැදගත්කමක් තියෙන ව්‍යාපෘතියක් හැටියට තමයි අප මේ කැණීම් කන්නේ. දැන් අපි අවුරුදු 09ක් තිස්සේ මේ වැඩ කරගෙන එනව. අපිට මේ අවුරුද්දේ තව කැනීම් දෙකක් කරන්න තියෙනව. පනාන ඉළුක්කුඹුර පරගහමඩිත්ත ගල්ගේ සහ අළුගල්ගේ කියන ගල්ගෙවල් දෙක. අපි ජූනි මාසයේ කැනීම් දෙක සැලසුම් කර තියෙනවා. මේවා අපිට වියදම් අධික වැඩ. මේකට ජාතික විද්‍යා පදනම ප‍්‍රතිපාදන වශයෙන් උදව් කරනව. ඒ වගේම කැලණිය විශ්වවිද්‍යාලය ප‍්‍රතිපාදන ලබා දෙනව. ඒ ආධාර යටතේ අපි මේ පර්යේෂණ කටයුතු ඉදිරියට කරගෙන යනවා.’’

මෙම ගල් ලෙනෙහි වසර 5000 ත් 4500ත් අතර කාලයේ මිනිසුන් ජීවත්ව සිට ඇති බවත් ඔවුන් ශ‍්‍රී ලාංකීය මානව ශිෂ්ටාචාරයෙහි නියම උරුමක්කාරයින් වන බවත් මහාචාර්ය රාජ් සෝමදේව පවසයි.
‘‘හිතන්න. අපේ ශිෂ්ටාචාරය කවුරුත් අපිට ගෙනැත් දීපු එකක් නෙවෙයි. අපිම ඒ දැනුම ගොඩනඟා අපම එය වර්ධනය කර අපමයි ඉදිරියට අරන් ගියේ. අපි හල්දුම්මුල්ලෙන් සොයා ගත්තා යකඩ උණු කිරීම පිළිබඳ ලෝකයේ පැරණිතම සාක්කි. මීට අවුරුදු 4400 කට ඉහත දී අපි යකඩ උණු කර තියෙනවා. හුඟාක් කතා අපිට කියන්න තියෙනව. ඒ කතා සියල්ලක්ම මේ රටේ ශිෂ්ටාචාරය ඇතිවීම පිළිබඳ වෘතාන්තයට අදාල දේවල්. සංක‍්‍රාන්තික දියුණුවක් පිළිබඳ සාක්කි ගොනු කිරීමේ ව්‍යාපෘතියකයි අපි මේ නියැලි ඉන්නේ.’’
ඉතා දුෂ්කර අවදානම් සහිත ගමන් මාර්ගයක් ඔස්සේ මෙම උඩුපියන් ගල් ලෙන සොයා දියවින්න රක්‍ෂිත වනාන්තරය මධ්‍යයට ගමන්කළ අපි මහාචාර්ය රාජ් සෝමදේව ඇතුළු පර්යේෂණ කණ්ඩායම දැඩි අපහසුතා මධ්‍යයේ මෙම කටයුත්ත සිදුකරන අයුරු දැකබලා ගතිමු. මෙම චාරිකාවට කල්තොට ශාසනාරක්‍ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී බුදුගල සෝමරතන සහ කල්තොට ශාසනාරක්‍ෂක මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී වැලිපත සුමනරතන හිමිවරු ද සහභාගී වූහ.