Monday, September 12, 2016

මීගමු පුරයෙන් පෑයූ හරිසඳු

මීගමු පුරයට ඇති ඓතිහාසික පසුබිම දන්නෝද අල්ප වෙති. ගැමුණු කුමරුන් පිළිසිඳගත් කල විහාර මහා දේවියගේ දොල දුක් සනහනු වස් සියක් රියනක් දිග මී වදයක් ලැබුනේ මීගොමුව හෙවත් මීගමුවෙනි. එසේම කඩොල් ඇතා හමු වුයේද මීගමුවේ කඩොල් කැළේ ප්‍රදේශයෙන් බව කියැවේ. මෑත අතීතයෙහිද මීගමුවෙන් යුග පුරුෂයෙක් පහළව දැවැන්ත මෙහෙරවක් කොට තුරුණු වියෙහි ම නික්ම ගියේය.

1876 ජුලි 9 වැනි දින ඉපිද, ධර්මපාල තුමන් මග යමින් රටට දැයට සමයට මහා යුග මෙහෙවරක් කොට වසර තිස් හතක් ආයු වළඳා 1913 සැප්තැම්බර් 13 වැනි දින වියෝ වූ බ්‍රහ්මචාරී වලිසිංහ හරිස්චන්ද්‍රතුමන් දිවි ගෙවූ නිවස මීගමුවේ කොප්පරා හන්දියෙන් හැරී කිලෝමීටර 2 ගිය තැන, දිවුලපිටිය සහ මීරිගම මාර්ග දෙක වෙන් වන ස්ථානයේ පිහිටා ඇත.

එතුමා කල සෙසු මෙහෙයන් නොව, අනුරාධපුරය වඳින්නට යන කී දෙනකු, අනුරාධපුර පුදබිම ඉංග්‍රීසි ආණ්ඩුවෙන් ලබාගෙන පුජා භූමියක් ලෙස සංවර්ධනය කිරීමට එතුමා කළ කටුක අරගලය දන්නේදැයි සැක සහිතය. එතුමා නොසිටින්නට අනුරාධපුර පින් බිම මේ හැටියෙන් අපට දැක බලා ගැනීමට නොලැබිය හැකිව තිබිණි. එහෙත් එතුමන් යටතේ සිදු වූ ඇතැම් කටයුතු, උදා: රුවන්මැලි සෑය ප්රලතිසංස්කරණය, පුරා විද්‍යා ශාස්ත්‍රීය නියමයන්ට පටහැණි බවට විවේචනයක්ද වෙයි.

එතුමා වියෝ වූ විට, ධර්මපාල තුමා පැවසුවේ, මේ අකල් මරණය තමන්ට අත් වී, හරිස්චන්ද්‍රතුමන් ජීවත් වූයේනම් වඩා හොඳ බවය.

මෙහි ඇති ජායාරූපවලින් දැක්වෙන්නේ දැන් කෞතුකාගාරයක් සහ සංස්කෘතික මධ්‍යස්ථ බවත පත්ව ඇති එතුමාගේ නිවස සහ, එතුමාගේ ශත සංවත්සරය වෙනුවෙන් ඇඳි චිත්‍රයකි. 
 

 

Wednesday, September 7, 2016

බලංගොඩ අළුගල්ගේ කැණීම

පහත දැක්වෙන්නේ මේ දිනවල කැරෙමින් පවතින, මහාචාර්ය රාජ් සොමදේව මහතා විසින් මෙහෙයවනු ලබන බලංගොඩ අළුගල්ගේ කැණීමෙන් මේ වන තෙක් ලැබුණු පුරාවස්තු අතරින් සමහරකි. 

 සත්ත්ව ඇටකටුවලින් සෑදු ආයුධ
ගෙල පළඳින පබළු

 සත්ත්ව ඇටකටුවලින් සෑදු ආයුධ
මැටියෙන් කල සුනඛ හිසක මූර්තියක්









මෙම මෝර දත ගෙල පළඳනාවක් බව සෝමදේව මහතාගේ මතයයි.


Friday, September 2, 2016

පොම්පරිප්පුව: වැළලී ගිය පූර්ව ඓතිහාසික ජනපදයක්

මන්නාරම ආසන්නයේ, විල්පත්තු අභය භූමියට මායිම්ව ඇති පොම්පරිප්පුව තරමක් ප්‍රකටව ඇත්තේ එහි සොයා ගෙන ඇති පූර්ව ඓතිහාසික සුසාන භූමිය නිසාය. එහෙත් මේ අවට  ප්‍රදේශය තවත් අප්‍රකට ඓතිහාසික තොරතුරු රාශියක් සඟවා ගත පෙදෙසකි. විජය කුමරු ගොඩබැස්ස බවට සැළකෙන තම්මන්නාවද මේ අසළය. විජය කුමරු ඓතිහාසික චරිතයක් වුවද නැතද තම්මැන්නාව ඉපැරණි යුගයේ පටන්ම නැව් තොටකි. මේ පෙදෙසට නිරන්තරයෙන්ම සංක්‍රමණිකයන් පැමිණි බවට විද්වත්හු කඩඉම් පොත්වලින් සාක්ෂි දක්වති. කුවේණියගේ මාළිගාව වර්තමාන විල්පත්තු භූමියේ පිහිටා තිබුණු බව ජනප්‍රවාදවල කියැවේ. අතීත උරුවේල ජනපදය මේ බවද කියැවේ. විජය කුමරු ගොඩ බට බවට සැළකෙන කුදිරමලයද මීට ආසන්නය. එහි ප්‍රාග් ඓතිහාසික ජනාවාසයක් පැවති බවට සාධක ඇත. විජය ගොඩ බසින කල පැවති සිරිසවත්ථුපුරයද මීට ආසන්න ප්‍රදේශයක් විය හැකියැයි ඇතැමෙක් සිතති. තවත් ඇතැමකු සිතන්නේ එළාර රජුගේ දීඝ ජන්තු සෙනෙවියාගේ ඉල්ලීම අනුව යුද්ධයට පැමිණි භල්ලුකගේ සේනාව මේ ප්‍රදේශය ඔස්සේ රට තුළට ගිය බවයි. කෝට්ටේ යුගයේදී මලල දේශයෙන් පැමිණි පිරිසකට වීර පරාක්‍රමබාහු රජු මේ ප්‍රදේශයෙන් ඉඩම් දුන් බවටද කඩඉම පොත්වල කියැවේ. 

පොම්පරිප්පුව සොහොන් බිමෙහි කළ ගවේෂණවලින්, මිනිස් ඇට කටු සහිත විශාල මැටි බඳුන් සොයාගෙන ඇත. ඊට අමතරව තබක්ක අංජන කූරු කිහිපයක්ද සොයාගෙන ඇත. මේ ප්‍රදේශය ආසන්නයේ සිරිසවත්ථු සහ ලංකාපුර යන යක්ෂ නගර දෙක පිහිටා තිබෙන්නට ඇති බව ඇතැමකුගේ මතයයි. මේ එක බඳුනක මිනී ඔලුවක්ද හමු වී ඇත. විජය එනවිට කුවේණිය කපු කටිමින් සිට මුණ ගැසුණු ප්‍රදේශය, පොම්පරිප්පුවට සැතපුම් තුනක් පමණ දකුණින් ඇති එළුවන්කුලම බව කියැවේ.

(මුදියන්සේ දිසානායක, ඓතිහාසික වන්නියේ සංස්කෘතිය ඇසුරිනි)

අරෝග්‍යා පරමා ලභා

(උපුටා ගැනීම: ශ්‍රී ලංකාවේ ශිලා ලේඛනවලින් හෙළිවන මානව අයිතිවාසිකම්, ධම්මිකා ප්‍රියදර්ශනී ගමගේ)

දුටුගැමුණු, බුද්ධදාස, දෙවැනි උපතිස්ස, දෙවැනි දප්පුල, මහ පැරකුම්බා ආදී පාලකයන් දිවයින පුරා වෛද්යැශාලා පිහිටුවා, වෛද්යෙවරුන් ඇතුළු නිලධාරීන්ට වැටුප් දී, මෙරට සෞඛ්‍ය  තත්ත්වය නංවාලීමට ප්‍රයත්න  දැරූ බව වංසකතාදියෙන්ද තහවුරු වේ. දුටුගැමුණු රජු අටළොස් තැනක ආරෝග්‍යශාලා කරවා, වෛද්‍යවරුන්ට භාණ්ඩාගාරයෙන් මිල දී රෝගී සියලු ගිලනුන්ට පිළියම් කරවා, වෙදුන් කී අයුරට නිරතුරුවම බත් දුන් බවත්, සියලු ගර්භණි කාන්තාවන්ට මිරිස් ලුණුද, ප්‍රසව කරවූ වින්නඹුවන්ට පිළිද, භාණ්ඩාගාරයෙන් දුන් බවත් ථුපවංශය සඳහන් කරයි. බුද්ධදාස  රජ දිවයින පුරා ගම දහයකට වෛද්‍යවරයකු බැගින් පත් කර ගමක් පාසා ආරෝග්‍යශාලා ඉදි කළ බව ද මහා වංශයේ සඳහන් වේ. පස්වැනි කාශ්‍යප  රජ දවස ඉලංග නම් සෙන්පති, අනුරපුරයේ හා පොළොන්නරුවේ වෛද්‍යශාලා කරවූ බවද, පැරකුම්බා රජු සිය ගණනක් රෝගීන් වෙනුවෙන් මහා ශාලාවක් කරවා ඔවුන්ට අහාර පානද වෛද්‍යවරුන්ට වැටුප්ද දුන් බව මුලාශ්‍රගත තොරතුරුවලින් හෙළි වේ.

ක්‍රි පු 3 වැනි සියවස පමණ සිට විද්‍යමාන ශිලා ලේඛනවලින්ද මෙරට පැරණි සෞඛ්‍ය සේවය පිලිබඳ තතු අනාවරණය වේ. එසේ වුවද, වෛද්‍ය සේවය සම්බන්ධයෙන් අනුරාධපුර පශ්චාත් අවධියේ ශිලා ලේඛනවලින් තරම් දීර්ඝ විස්තර ක්‍රි පු 3 - ක්‍රි ව 1 සියවස අතර ලියැවී ඇති ලෙන් ලිපි කිහිපයකම වෛද්‍යවරුන්ගේ නම් සටහන් වී ඇත. ගමිණි තිස්ස රජුගේ වෛද්‍යවරයකු වූ බ්‍රාහ්මණ ගෝභූති, තිස්ස සහ මිත්‍ර යන වෛද්‍යවරුන්ගේ නම් ඒ අතර වේ. මෙහි පළමු නම සඳහන් තැනැත්තා රාජකීය වෛද්‍යවරයකු බව සඳහන් වේ. අනෙක් දෙදෙනා සාමාන්‍ය වෛද්‍යවරුන් ලෙස සිතිය හැක්කේ රාජකීය වෛද්‍ය සේවාවට ඔවුන්ගේ සම්බන්ධයක් ඇතැයි ලිපිවලින් හෙළි නොවන බැවිනි. ඒ අනුව අතීතයේ සාමාන්යය වෛද්‍ය සේවාවට අන්‍යතර වූ රාජකීය වෛද්‍ය සේවා ක්‍රමයක්ද පැවති බැව් සිතිය හැකිය.

මෙරට ජනයා අතීතයේ යහපත් සෞඛ්‍ය තත්ත්වයක් භුක්ති විඳි බැව් පැහැදිලිවම අනාවරණය වනුයේ ක්‍රි ව 9-10 සියවස්වල ශිලා ලේඛනවලිනි. රෝහල්, වෛද්‍යවරුන්, නිලධාරීන්, සේවකයන්, ආරෝග්‍යශාලා පරිපාලන නීති රීති පමණක් නොව ඒ නීති රීති කඩන පුද්ගලයන්ට දඬුවම් පැමිණවීම ආදී පුළුල් තොරතුරු සමුදායක් උක්ත වකවානුවේ සෙල්ලිපි ඇසුරින් වටහා ගත හැකිය.

කිරිබත් වෙහෙර ටැම් ලිපිය සඳහන් කරන්නේ සිව්වැනි කාශ්‍යප රජුගේ නියමයෙන් බමන් කුම්බුර් නමැති ස්ථානයේ පිහිටි වෛද්‍යශාලාවකට ඉඩම් කිහිපයක් ප්‍රදානය කර ඇති අතර එය ආරෝග්‍යශාලා නිලධාරීන්ගේ පාලනයට නතු කර ඇති බවය. රාජකීය නිලධාරීන්ට වුව අනවසරයෙන් වෛද්‍යශාලාවට අයත් භූමියට ඇතුළු වීම තහනම් විය. වැරදි කළ කිසියම් පුද්ගලයකු ඒ ඉඩම් සීමාවට ඇතුළුව සිටීනම්, බෙහෙත් ගෙයි නිලධාරීන්ට කියා ඔහු පිටත් කරවා ගත යුතු බවට ව්‍යවස්ථා පණවා ඇත.

සිව් වැනි කසුබ් රජුගේ කොළඹ කෞතුකාගාරයේ ඇති ටැම් ලිපියට අනුව සෙනල්නාකන් නැමැත්තා කරවූ තිඹිරි ගෙයකට රජය විසින් පමුණු ඉඩමක් ප්‍රදානය කරනු ලැබීම හා ඊට පිරිනැමූ වරප්‍රසාද පිලිබඳ වාර්තා වේ. පස්වැනි කසුබ් රජු විසින් අනුරාධපුර ඇතුළු නුවර ඉදි කරන ලද රෝහලකට වෙන් කරන ලද ඉඩම් පිලිබඳ සීමාද ඊට අදාළ වරප්රිසාද හා නීති රීතිද, දොරබාවිල ටැම් ලිපියන් අනාවරණය වේ. එහි අඩංගු ව්‍යවස්ථා නොරක්නා රජවරුන්, ඈපා, මාපාදීන් කවුඩු බලු වන බැව් දැක්වෙන සඳහන මෙහිදී විශේෂයෙන් වැදගත්ය. මතු පාලකයන්ද එකී නීති රීති අඛණ්ඩව රැකියා යුතු බැව් ඉන් දැඩිව අවධාරණය වේ.

තවද අතීතයේ සිට මෙරට පැවති "සිරිත" (යහපත් සෞඛ්‍ය තත්ත්වයක් භුක්ති විඳීමට පුද්ගලයාට ඇති අයිතිය ) අනාගතයේදීත් නොනසා රැක ගැනීම කෙරෙහි පාලකයන්ගේ කැමැත්ත සහ වගකීම පිලිබඳ අදහස්ද ඉන් වටහා ගත හැකිය.

අනුරාධපුර පශ්චාත් අවධියේදී මෙරට පවතී රෝහල් සංවිධානය පිලිබඳ තොරතුරු රැසක් හය වැනි මහින්දගේයැයි සැළකෙන මැදිරිගිරිය පුවරු ලිපියෙන් හෙළි වේ. වෛද්‍යවරුන්, වෙද්හල්, සම්දරුවන්, වෙද්හල් කැමියන් හා ඔවුන් පිලිබඳ නීති රීති ද මේ ලිපියේ සඳහන්ය. විශේෂයෙන්ම අනුරාධපුර පශ්චාත් අවධිය වන විට මෙරට වෛද්‍ය සේවාව දියුණු තත්ත්වයක පැවති අතර ආරෝග්‍යශාලාවල විශාල නිලධාරීන් හා සේවක පිරිසක් සේවය කළහ. එබැවින් ආරෝග්‍යශාලාවල මනා පාලනයක් ඇති කිරීම, එමගින් රටවැසියා වෙත උපරිම සේවා තත්ත්වයක් ලබා දීම, වෛද්‍යවරුන්, නිලධාරීන් සහ සේවකයන් අතර මනා සම්බන්ධතාවයක් ඇති කිරීම ආදිය සඳහා පරිපාලන නීති රීති සැකසීමටද සිදු විය. ඉහත මැදිරිගිරිය පුවරු ලිපියට අනුව වෙදහලට අයත් භූමියේ මත්පැන් බීම, නැටීම, වැයීම ආදිය තහනම් බවටද ව්යිවස්ථා පණවා තිබිණි. එය ආරෝග්‍යශාලාවේ නැවතී ප්‍රතිකාර ලබන රෝගීන්ගේ මානසික නිදහස කෙරේ අවධානය යොමු කිරීමකි. වෛද්‍යශාලා නිලධාරීන් විසින් එහි සේවකයින් ලවා වෛද්‍යශාලාවට අයිති ඉඩම්වල වගා කරවනු ලැබීමද තහනම් විය. මෙවැනි නීති පනවන්නට ඇත්තේ ආරෝග්‍යශාලා වෙත සේවකයන්ගේ සේවාව නිසි ලෙස ලබාදීම සඳහා විය හැකිය. නිලධාරීහු පෞද්ගලික ප්‍රයෝජනය පිණිස ආරෝග්‍යශාලාවට අයත් ඉඩම්වල ගොවිතැන් නොකළ යුතු වුහ.

වෙදහලට අයත් ඉඩම්වල ආදායම වෙදහලට ලබාදීමට මෙන්ම ඇතැම් විට බෙහෙත් පැළෑටි ආදිය ඒ බිම්වල රෝපණය කරන්නට ඇති නිසාත් එවන් නීති පනවන්නට ඇත.

මීට අමතරව වෛද්‍ය නිලධාරින්, එහි සුළු සේවකයන්ගෙන් අල්ලස් ගැනීම, තෑගී බෝග ගැනීම ආදිය තහනම් විය. මේ ව්‍යස්ථා උල්ලංඝණය කර ඇති විට, අවුරුදු පතා ආරෝග්‍යශාලා පරික්ෂාවට පැමිණෙන රාජ්‍ය නිලධාරීන්, ආයතන පාලක සභාවේ නිල නායකයන් ලවා වැරදි සොයා බලා ඒවා නිරවුල් කළ යුතු විය. තවද, මේ නීති රීති නොපිළිපදින ගම්වැසියන් ගම්වලින් ඉවත් කළ යුතු බවටද නියෝග කර තිබිණි. මේ අයුරින් මැදිරිගිරිය ශිලලේඛනයෙන් තහවුරු වන්නේ ප්‍රස්තුත ආරෝග්‍යශාලාවේ මනා පරිපාලනයක් හා සේවා තත්ත්වයක් පැවති බවයි.

වෛද්‍යවරුන්ගේ හා සෙසු සේවකයන්ගේ සේවාවට රජය මගින් වැටුප් පිරිනැමීම, එක් පැත්තකින් ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය නංවාලීමේ උත්සාහයකැයි සිතිය හැකිය. සිවු වැනි මිහිඳුගේ පුවරු ලිපියට අනුව වෛද්‍යවරයකුට දිවෙල් වශයෙන් දෙතිසැ හේනෙන් පෑලක්ද, දමියෙන් කොටසක්ද, පුහුඩා වෙදක්හට ඉඩම් කිරි භාගයක්ද දමියෙන් කොටසක්ද හිමි විය. තවද බෙහෙත් පිළියෙළ කරන සේවකයකුට ඉඩම් කිරි එකක්ද, දමියෙන් කොටසක්ද හිමි විය.

ඉහත කී පරිදි රෝහල්වල නඩත්තු පිණිස ගම්බිම් පවරා දෙමින් ආරෝග්‍යශාලාවල සේවය වෙනුවෙන් වෛද්‍යවරුන් හා සේවකයන් දිරි ගන්වමින්, මැනවින් පාලනය කිරීම සඳහා ව්‍යවස්ථා පද්ධති පණවා ක්‍රියාත්මක කිරීමෙන් පෙනෙනුයේ රටවැසියාට යහපත් සෞඛ්‍ය තත්ත්වයක් ලබාදීමට පාලන තන්ත්රපය විසින් ගන්නා ලද උත්සාහයයි.

ශාරීරික හෝ මානසික වශයෙන් හෝ දුබල වුවන්ට රැකවරණය සැළසීම මෙරට අතීතයේ සිටම ව්‍යවහාර වූ සිරිතකි. එවැනි පුද්ගලයන් වෙනුවෙන් අහර පාන, ඇඳුම්, නිසාව හා යහපත් සෞඛ්‍ය තත්ත්වයක් ආදී මුලික අවශ්‍යතා ලබාදීමත් ඔවුන්ට සහනය සැළසීමත් රජයේ යුතුකමක් මෙන්ම වගකීමක් ද විය. පුරාණ ලක්දිව රාජ්‍ය සංවිධානය විසින් මේ යුතුකම් සිරිතක් වශයෙන් ක්‍රියාත්මක කරන ලදී.

බුද්ධදාස රජු මහ මග ඒ ඒ තන්හි පිළුන් හා අන්ධයන් සඳහා ශාලාද වැටුප් සහිත විශේෂ ශාලාද කරවූ අතර, දෙවැනි උපතිස්ස රජු පිළුන්, ගර්භණි කතුන්, අන්ධයින් සහ රෝගීන් වෙනුවෙන් දානශාලා සහ ආරෝග්‍යශාලා සෑදවීය. දෙවැනි දප්පුල රජු අනාථ වූ කුල කතුන්ට පළඳනා සහ රාත්‍රි ආහාර සැපයු අතර, පළමුවැනි විජයබාහු රජුද වැන්දඹු කුල කාන්තාවන්ට ගම්, ආහාර, වස්ත්රර ආදිය පමණක් නොව, ගම්වරද සැපයූ බව මුලාශ්‍ර මගින් හෙළිදරවු වේ. මේ කරුණුවලින් තහවුරු වනුයේ රෝගාබාධිතයන්ට සහ වැන්දඹුවන්ට සහන සැළසීම මෙරට චිරාගත චාරිත්‍රයක් වූ බවත්, ඒ චාරිත්‍රය පාලකයන් විසින් නොනසා රකින ලද බවත්ය.

මේ සිරිත ශිලාලේඛන තොරතුරුවලින්ද සනාථ වෙයි. පළමුවැනි පරාක්‍රමබාහු රජුගේ පොළොන්නරු ගල් විහාර සෙල් ලිපිය භික්ෂුන් වහන්සේ සම්බන්ධයෙන් පණවන ලද කතිකාවතක් වුවද, එහි ලා උක්ත සිරිත සම්බන්ධයෙන් විශේෂයෙන් සඳහන් කර තිබේ. එහි සඳහන් පරිදි තම මව් පිය දෙදෙන, එක කුස උපන් වැන්දඹු බවට පත් සහෝදරියන්, මෙහෙකරුවන් ආදීන් සඳහා ආහාර සිඟා යාමට හා ඔවුන් රෝගී වූ අවස්ථාවලදී බෙහෙත් ආදිය සිඟා යෑම පිණිස භික්ෂුන් වහන්සේලාට අවසර දී ඇත. එහෙත් බුද්ධ විනය අනුව උක්ත පිරිසට පිහිට වීම සඳහා යාහැකි වුයේ සත්තාහකරනයෙනි (වස් විසු භික්ෂුන් අවශ්‍ය වැදගත් කරුණක් සඳහා ආරාමයෙන් පිට දවසක් දෙකක් නවතින්නට යන විට, "මට අන්තරායක් නොවුවහොත් හත් දවසක් ඇතුළත පෙරළා එන්නෙමැයි කල්පනා කිරීම). ඉහත කී පොලොන්නරු කතිකාවතින් භික්ෂුන් වහන්සේලාට එබඳු සීමාවක් පණවා නැති බව පෙනේ. විනය නීති වුව මෙරට අතීතයේ සිට පැවති සමාජගත සිරිතට ගරු කිරීම සඳහා ලිහිල් වූ ආකාරය ඉන් අනාවරණය වේ.

විවිධ රෝගාබාධවලට ලක් වූ අසරණ පුදගලයන්ට රැකවරණය සළසමින් ඔවුන්ගේ අයිතිවාසිකම් රැකදීමට රාජ්ය තන්ත්‍රය ක්‍රියාත්මක වූ අයුරු නිශ්ශංකමල්ල රජුගේ ගල් පොත ලිපියෙන්ද පෙනේ. ඒ අනුව නිශ්ශංකමල්ල රජු කණ, පිළු, කුරු, කුදු ආදී අනාථ ජනයාගේ යහපත වෙනුවෙන් කටයුතු කර ඇත.

මේ සාකච්ජාවට බඳුන් වූ චාරිත්‍රය, අධ්‍යයනයට පාදක වූ ක්‍රි. පූ 3 වැනි සියවස සිට ක්‍රි. ව. 13 වැනි සියවසේ අවසානය තෙක්ම නීතිගත අයිතිවාසිකමක් බවට පත් නොවුවද, සිරිතක් වශයෙන් නොකඩවාම ව්‍යවහාර විය. විශේෂයෙන්ම පුරාණ රාජ්‍ය සංවිධානය, රෝගාබාධ හා වැන්දඹුභාවයට පත් වූ සහ මානසික හෝ කායික වශයෙන් අසරණ වූ පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමින්, ඔවුන්ට විය යුතු යුතුකම් ඉටු කරමින් සමාජගත සිරිත් දිගින් දිගටම ක්‍රියාත්මක කිරීමට ගත් උත්සාහය ඉහත කරුණුවලින් පැහැදිලි වෙයි. ශාරීරික වශයෙන් හෝමානසික වශයෙන් හෝ දුබල වුවන්ට රැකවරණය සැළසීම මෙරට අතීතයේ සිටම ව්‍යවහාර වූ සිරිතකි. එවැනි පුද්ගලයන් වෙනුවෙන් ආහාර පාන, ඇඳුම්, නිවාස හා යහපත් සෞඛ්‍ය තත්ත්වයක් ආදී මුලික අවශ්‍යතා ලබාදීමත් ඔවුන්ට සහනය සැළසීමත් රජයේ යුතුකමක් මෙන්ම වගකීමක් ද විය. පුරාණ ලක්දිව රාජ්‍ය සංවිධානය විසින් මේ යුතුකම් සිරිතක් වශයෙන් ක්‍රියාත්මක කරන ලදී.

බුද්ධදාස රජු මහ මග ඒ ඒ තන්හි පිළුන් හා අන්ධයන් සඳහා ශාලාද වැටුප් සහිත විශේෂ ශාලාද කරවූ අතර, දෙවැනි උපතිස්ස රජු පිළුන්, ගර්භණි කතුන්, අන්ධයින් සහ රෝගීන් වෙනුවෙන් දානශාලා සහ ආරෝග්යිශාලා සෑදවීය. දෙවැනි දප්පුල රජු අනාථ වූ කුල කතුන්ට පළඳනා සහ රාත්‍රී ආහාර සැපයු අතර, පළමුවැනි විජයබාහු රජුද වැන්දඹු කුල කාන්තාවන්ට ගම්, ආහාර, වස්ත්‍ර ආදිය පමණක් නොව, ගම්වරද සැපයූ බව මූලාශ්‍ර මගින් හෙළිදරවු වේ. මේ කරුණුවලින් තහවුරු වනුයේ රෝගාබධිතයන්ට සහ වැන්දඹුවන්ට සහන සැළසීම මෙරට චිරාගත චාරිත්‍රයක් වූ බවත්, ඒ චාරිත්‍රය පාලකයන් විසින් නොනසා රකින ලද බවත්ය.

මේ සිරිත ශිලාලේඛන තොරතුරුවලින්ද සනාථ වෙයි. පළමුවැනි පරාක්‍රමබාහු රජුගේ පොළොන්නරු ගල් විහාර සෙල් ලිපිය භික්ෂුන් වහන්සේ සම්බන්ධයෙන් පණවන ලද කතිකාවතක් වුවද, එහි ලා උක්ත සිරිත සම්බන්ධයෙන් විශේෂයෙන් සඳහන් කර තිබේ. එහි සඳහන් පරිදි තම මව් පිය දෙදෙන, එක කුස උපන් වැන්දඹු බවට පත් සහෝදරියන්, මෙහෙකරුවන් ආදීන් සඳහා ආහාර සිඟා යාමට හා ඔවුන් රෝගී වූ අවස්ථාවලදී බෙහෙත් ආදිය සිඟා යෑම පිණිස භික්ෂුන් වහන්සේලාට අවසර දී ඇත. එහෙත් බුද්ධ විනය අනුව උක්ත පිරිසට පිහිට වීම සඳහා යාහැකි වුයේ සත්තාහකරනයෙනි (වස් විසු භික්ෂුන් අවශ්‍ය වැදගත් කරුණක් සඳහා ආරාමයෙන් පිට දවසක් දෙකක් නවතින්නට යන විට, "මට අන්තරායක් නොවුවහොත් හත් දවසක් ඇතුළත පෙරළා එන්නෙමැයි කල්පනා කිරීම). ඉහත කී පොලොන්නරු කතිකාවතින් භික්ෂුන් වහන්සේලාට එබඳු සීමාවක් පණවා නැති බව පෙනේ. විනය නීති වුව මෙරට අතීතයේ සිට පැවති සමාජගත සිරිතට ගරු කිරීම සඳහා ලිහිල් වූ ආකාරය ඉන් අනාවරණය වේ.

විවිධ රෝගාබාධවලට ලක් වූ අසරණ පුදගලයන්ට රැකවරණය සළසමින් ඔවුන්ගේ අයිතිවාසිකම් රැකදීමට රාජ්‍ය තන්ත්‍රය ක්‍රියාත්මක වූ අයුරු නිශ්ශංකමල්ල රජුගේ ගල් පොත ලිපියෙන්ද පෙනේ. ඒ අනුව නිශ්ශංකමල්ල රජු කණ, පිළු, කුරු, කුදු ආදී අනාථ ජනයාගේ යහපත වෙනුවෙන් කටයුතු කර ඇත.

මේ සාකච්ජාවට බඳුන් වූ චාරිත්‍රය අධ්‍යයනයට පාදක වූ ක්‍රි. පූ. 3 වැනි සියවස සිට ක්‍රි. ව. 13 වැනි සියවසේ අවසානය තෙක්ම නීතිගත අයිතිවාසිකමක් බවට පත් නොවුවද, සිරිතක් වශයෙන් නොකඩවාම ව්යහවහාර විය. විශේෂයෙන්ම පුරාණ රාජ්යි සංවිධානය, රෝගාබාධ හා වැන්දඹුභාවයට පත් වූ සහ මානසික හෝ කායික වශයෙන් අසරණ වූ පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමින්, ඔවුන්ට විය යුතු යුතුකම් ඉටු කරමින් සමාජගත සිරිත් දිගින් දිගටම ක්‍රියාත්මක කිරීමට ගත් උත්සාහය ඉහත කරුණුවලින් පැහැදිලි වෙයි.

Monday, July 18, 2016

මගුල් මහා විහාරය



කාවන්තිස්ස රජුගේත්  විහාර මහා දෙවියගේත් අභිෂේකය සිදු වූ තැන හැටියට සැළකෙන මගුල් මහා විහාරය, වර්තමාන යාල අහය භූමිය ඇතුළත පිහිටා ඇත. යාල එදා වනයක් නොව ජනපදයකි. 


මෙම ස්ථානය ක්‍රි පූ දෙවන සියවස තරම් ඈතට දිව යන බවට සාක්ෂිවලින් සනාථ ව ඇත. මෙතැනට  ගෝටයිම්බර සෙනෙවියාගේ මුණුබුරකු වූ චුල්ලතිස්ස නම් ප්‍රධානියා (පරුමකවරයා) ලෙන් පූජාවක් කර ඇති බවට සෙල් ලිපියක් සාක්ෂි දරයි. 

මගුල් මහා විහාරය නමින් පොදු වහරේ හැඳින්වෙන ස්ථාන දෙකක් ඇත. අනෙක පිහිටා ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල ප්‍රදේශයේය. එහෙත් එය මීට පසු කාලයකට අයත් වුවකි. එය   කාවන්තිස්ස -විහාර මහා දේවි යුවලට ඈඳීමට හේතුව, එහි ඇති සෙල් ලිපියක කියවෙන විහාර දේවිය, විහාර මහා දේවිය ලෙස වරදවා ගැනීමයි. මේ විහාර දේවිය යනු සිව් වැනි සේන රජුගේ බිසවයි. 

ඒ අනුව කාවන් තිස්- විහාර මහා දේවි යුවළට සම්බන්ධ ස්ථානය මෙම යාල තුළ පිහිටි මගුල් මහා විහාරය බව පිළිගැනේ. එහෙත් මීට එකඟ නොවන විද්වත්හුද සිටිති. මේධානන්ද හිමියන් පවසන්නේ මෙකී අභිෂේකය සිදු වුයේ, ආරුගම් බොක්ක අසල ප්‍රදේශයේ පිහිටා ඇති මනි නාග පබ්බත විහාරයේ බවයි.

Saturday, July 16, 2016

රිදී කලේ රන් කොතලේ බීපු මට- නිකම් කලේ පැන් නැතිවිය පිපාසෙට- කොට්ට මෙට්ට ඇද ඇතිරිලි තිබුන මට- මෙහෙමත් කල යාද පළු වීර ගස් යට


අන්දරේ රාජාධිරාජසිංහ රජුගේ සේවයෙන් සමුගෙන  සිය ගම තොට බලා පැමිණෙමින් සිටියදී, වර්තමාන හම්බන්තොට තිස්සමහාරාමය පාරේ උඩමලලින් හැරී මඳ දුරක්  ගිය විට පෙනෙන  කුඩා වැව අසබඩ මේ සුන්දර ස්ථානයේදී සදහටම දෙනෙත් පියා ගත් බව ජන වහරේ කියැවේ.


Friday, July 15, 2016

ලක්දිව රක්නා සම්දිටු දෙවියන් පෙරහැර කාලෙට රැස් වෙන්නේ - කැප්පෙටිපොළ දෙවියන්දෝ හිමියනි එසබේ මුලසුන හොබවන්නේ

දැනට අනුරාධපුර කෞතුකාගාරයේ තැන්පත් කර ඇති මේ අලංකාර වස්ත්‍ර වීර කැප්පෙටිපොළ අදිකාරම්තුමන් පාවිච්චි කළ ඇඳුම් කිහිපයකි.

Saturday, July 9, 2016

දිවෙහි රාජ්ජේ සිංහල පිය සටහන්

මහා වංශයේ කියවෙන ලෙස, විජයගේ පිරිවර යාත්‍රා කරන විට, විජය සහ සත් සියයක් මිනිසුන් ලංකාද්වීපයට ගොඩ බසින අතර, ස්ත්‍රී පිරිවර සිටි නැව ගසාගෙන ගොස් වෙනත් යම් දුපතකට සේන්දු විය. එය මහිලාදීප නම් විය. මේ වත්මන් මාල දිවයින බව ඇතැමකුගේ මතයයි. ඔවුන්ගේම ජන ප්‍රවාද අනුව එහි පළමු රජු සිංහල කුමාරයෙකි. ඒ කතාන්දරය සැකෙවින් මෙසේය.

පෙර කල ලංකාවේ දුර බැහැර වනාන්තරයක් ආශ්‍රිතව යුවලක් දිවි  ගෙවුහ. බිරිය තෙමස් ගැබිණියක ව සිටියදී සැමියා මිය ගියේය. පසුව ලැබුණු දරුවාද හදා වඩා ගනිමින් සිටි මවද, දරුවා බිලිඳු අවධියේදීම මිය ගියේය. අසරණ වූ  දරුවා දණගාමින් පැලෙන් ඉවතට ගියේය. ඔහුට මුණගැසුනේ කුළු ගව රංචුවකි. දෙනුන්ගෙන් කිරි  බොමින් ඔහු කුළු ගව රංචුව ඇසුරේ වැඩුණි.

දිනක් මේ දරුවා මහා දැවැන්ත සර්පයෙක් ගල් ගුහාවකට ඇදී යනු දුටුවේය. ඔහුට එය හොඳින් සිහියේ රැඳීනි. මෙසේ කාලය ගතවනවිට රජ වාසල ගව පට්ටියට ගවයන් අල්ලා ගැනීම සඳහා ගව පට්ටිය භාර සේවකයන් පිරිසක් වන වැදුණහ. ඔවුන්ට මේ දරුවා දැක ගන්නට ලැබී, ඔවුහු රජුට ඒ ගැන දැනුම් දී,  රජුගේ නියමය පරිදි පසු දිනෙක දරුවා අල්ලාගෙන රජුට ඉදිරිපත් කළහ. රජු දරුවා මාලිගයේ නවත්වාගෙන ඔහු පෝෂණය කර ඔහුට ඉගැන්වීය. වසරක් යනවිට ඔහුට කතා කළ හැකි විය. 

ඔහුට රජ වාසල සියල්ලෝම  "කොයිමලා" යනුවෙන් ඇමතුහ. එහි තේරුම "මලක් වන් දරුවා" යන්නයි.  දිනක් රජු ඔහුගෙන් තම මව්පිය ඥාතීන් ගැන යමක් දන්නේදැයි විමසීය. "රජතුමනි, ඔබගේ රාජ පුරුෂයන් මා කැටුව ආවේ මාගේ ඥාතීන් සමග සිටින අතරය" යනුවෙන් ඔහු පිළිතුරු දුන්නේය. තමා  වනයේදී දුටු විශේෂ යමක් ඇත්දැයි විමසු විට කොයිමලාට සිහි වුයේ තමා දුටු දැවැන්ත සර්පයාය.  ඒ කතාව ඇසීමෙන් කුතුහලය  ඇවිස්සුණු රජු කොයිමලාද සෙනගක් පිරිවරාගෙන ඒ ගුහාව වෙත ගියේය. ගුහාව තුළට යාමට කිසිවකු ඉදිරිපත් නොවූ නිසා, කොයිමලා එය භාර ගත්තේය. ඇතුළට ගිය ඔහුට සර්පයා හමු නොවීය. එහෙත් ගුහාව ඇතුළත මැණික්වලින් පිරී තිබුණි. රජුගේ  පිරිවර  මේ මැණික් තොගය දවස් ගණනක් තිස්සේ නගරයට ඇද්දෝය. ඒ මැණික්වලින් රජ වාසල ගබඩා පිරී ගියේය. රජු තම ඇමතියන් කැඳවා, මේ මැණික් තමන්ට අයිතිදැයි ඇසීය. ඒවා අයිති කොයිමලාට බව ඇමතිවරු පෙන්වා දුන්හ. මැණික් තොගයට ලොබ බැඳී රජු, එය තමන්ට අයත් කර ගත හැකි ක්‍රමයක් කල්පනා කළේය. ඒ අනුව, රජුගේ දූ කුමරිය කොයිමලාට සරණ පාවා දෙනු ලැබුවාය. එහෙත් ඔහුට ඉන් පසු සිය මනාලිය දකීමටවත් නොලැබුණි. දැන් තමන්ට මේ වස්තුවට හිමිකමක් ඇත්දැයි රජු ඇමතියන්ගෙන් පිළිවිසීය.  මගුලේ තතු දත් ඇමතිවරු, මෙම මංගල්‍යයේ ස්වභාවය අනුව හිමිකමක් ඇති විය නොහැකි බව කීහ. වෙනත් විකල්පයක් නැති තැන රජු කොයිමලා ගෙන්වා තම අභිමතය පැවසීය. තමන්ටත්, තම මනාලියටත් නැව් තුනක් සාදා දී, ඊට අවශ්‍ය ආම්පන්න සහ සේවකයන්ද ලබා දී, ඒ නැව් තුනට වස්තුවෙන් කොටසක් පටවන ලෙස කොයිමලා ඉල්ලා සිටියේය. තමා රටින් පිට ව  යන බවත්, ඉතිරි වස්තුව රජුට තබා ගන්නා ලෙසත් ඔහු රජුට කියා සිටියේය. රජු ඊට එකඟ විය.

මෙසේ  නැව් නැග යාත්‍රා කළ කොයිමලාගේ පිරිසට කුඩා දුපත් දෙකක් දිස් විය. ඔවුහු එහි පදිංචිව නව රාජ්‍යය ඇරඹුහ. කොයිමලා පදිංචි වූ දුපත රස්ගෙතීමු ලෙස අදද හැඳින්වේ. එහි අර්ථය රජුගේ නුවර යන්නයි. කොයිමලාගේ රාජ්‍ය නාමය "ශ්‍රී මානාභරණ මහ රදුන්" බව ඔවුන්ගේ ජනප්‍රවාදවල කියැවේ. 

මානාභරණ මහ රදුන් (මහ රජු) ක්‍රි ව 1117 සිට  1141 දක්වා රජ කළ පසු රජ වූ  ඔහුගේ සහෝදරියකගේ පුත්‍රයා වූ භවනාධීත රජු මුස්ලිම් ආගම වැළඳ ගත්තේය. ඊට හේතුව වශයෙන් කියවෙන්නේ, රටට විපත් කල රන්නමාරි නම් මුහුදු රකුසකු පරාජය කිරීමට  මුස්ලිම් භක්තිකයකු (අරාබි ජාතිකයකු ) සමත් වීමයි. ඇතැම් ජන කතා අනුව, රකුසාට ඇඳ තිබුනේද රජුමය. කෙසේ හෝ රජු අතිශය සාහසික ලෙස බෞද්ධ සංස්කෘතිය කණ පිට හැරවීමට ක්‍රියා කළේය. මේ සිදු වීම ක්‍රිව 1153 හි දී සිදු වූ බව කියැවේ.  අවසානයට මුස්ලිම් ආගම වැළඳ ගත්තේ දකුණු කෙළවරේ පිහිටි අඩ්ඩු හෙවත් සීනු ඇටෝලය (දිවෙහි: අතොලු- දුපතට වඩා විශාල පරිපාලක ඒකකය) බව එහි වැසියෝ සිතති. ස්තුපවල නොසලකා හැරී නටබුන් කිහිපයක් අදටත් අප්‍රකටව තැන තැන ඇත. මාලේ කෞතුකාගාරයේ බෞද්ධ පුරා වස්තු කිහිපයක් තිබුණු අතර 2012 හි දී අන්තවාදී කණ්ඩායමක් ඒවා විනාශ කර දැමුහ. දැන් ඇත්තේ එම සිද්ධියෙන් පසු පිළිසකර කරගත් තුනක් පමණි. මාලේ (අග නගරය) සහ වෙනත් දුපත් අසල මුහුදෙහි බුදු පිළිම සහ පුරා වස්තු ඇති බව, විශ්වාස කරනු ලැබේ. ඒ ගැන අධ්‍යයනයක් සිදු වී නැත.  

මාල දිවයිනේ  භාෂාව (දිවෙහි බස) සිංහල බසින් දහවැනි සියවසේදී කැඩී ගිය දුහිතෘ බසක් ලෙස විල්හෙල්ම් ගයිගර් පඬිවරයා හඳුනා ගත්තේය. සමහරෙක් එය දොළොස් වැනි සියවසට ගනිති. එහි වචනවල ඇති සමානකම් සිත් ගන්නා සුළුය. එයින් කිහිපයක් පහත දැක්වේ. සම්පූර්ණ ලැයිස්තුවක් දක්වතොත්, එය දිවෙහි ශබ්දකෝෂයක් මෙන් වනු ඇත. 

ඊයේ, ගෙරි (ගවයා), මී ගොනු (මී ගවයා), මස් (මාංශ), උතුරු, දෙකුණු (දකුණු), රාජ්ජේ (රාජ්‍යය, රට), අලතු (අලුත්), කුරුම්බා, පෙන් (පැන් ),  අකුරු, නිකං, පාලං (පාලම), රා, සින්ගා (සිංහයා), මගු (මග), කුඹු (කුඹ ගස), මගේ, හඳු (සඳ), හෝනු (හූනා), දුවුන් (දුවනවා), අස් (අශ්වයා), මූදු (මුහුද), වික්කුන් (විකුණනවා), හෙලුවුන් (හොලවනවා), පාප (පාපය), කුරු (මිටි), මීහා (මිනිහා- පුද්ගලයා), ඒ , ඉඟිලි (ඇඟිල්ල), කුඩ (කුඩය), කිරුන් (කිරනවා), හුදු (සුදු), කලු, ලිවුන් (ලියනවා), එකෙ, තිනෙ (තුන ), හතරෙ, පහෙ, හයෙ, හතෙ, නුවයේ (නවය), දිහයෙ (දහය ), සාලිස් (හතලිහ), බුධ (බදාදා), බුරාහස්පති (බ්‍රහස්පතින්දා), හුකුරු (සිකුරාදා), හොනිහුරු (සෙනසුරාදා). 

සිය නිල ඉතිහාසයේ සඳහන් නොවුවද, මාල දිවයින අතීතයේ ලංකාවේ රජුගේ ප්‍රත්‍යන්ත පාලන ප්‍රදේශයක් ලෙස පැවතුනු බව ඇතැම් මාල දිවයින් වැසියෙක් ජනශ්‍රුති අනුව සිතති. එය අපගේ මුලාශ්‍ර අනුවද සත්‍යයක් නොවේ. ඇතැම් විට අතීතයේ මාල දිවයින් පාලකයන්,  සිංහල රජු බැහැ දකින්නට තෑගී බෝග රැගෙන පැමිණීම සිරිතක් වන්නට ඇත. 

 මේ රචකයාට හැඟෙන අයුරින් ඔවුන්ගේ ජනප්‍රවාදවලින් උකහා ගත හැකි කරුණු දෙකක් ඇත. එකක් නම්, තමන් ලංකාවේ ප්‍රත්‍යන්ත වැසියන් ලෙස  මාල දිවයින් මුතුන් මිත්තන් සිතන්නට  ඇත්තේ, මුස්ලිම් ආගමද  වැළඳගෙන සියවස් ගණනක් ගියත්, සිය මහ ගෙදර ගැන ඔවුන්ගේ ගෞරවයක් ඇති නිසා බවයි. අනෙක, ඔවුන් අපේ  රාජ්‍යය පරමාදර්ශීය රාජ්‍යයක් ලෙස සලකන්නට ඇති බවයි. සිරිත් නීතිය (පෙර සිරිත්) අනුව  තමන්ට හිමි නැති වස්තුව කොයිමලාගෙන් ලබා ගැනීමට රජුටද බැරිය . "ඔය සිංහල රාජ්ජේ රජ්ජුරුවන්ටත් හිතු මතේ නටන්න බෑ" මාල දිවයින් මුත්තන් තම දරුවන්ට කියා දෙන්නට ඇත. 

 

Wednesday, July 6, 2016

ගල් විහාරය - අප්‍රකට තතු කිහිපයක්

(ජායාරූපය උපුටා ගනු ලැබුවකි)
 
      මෙහි මුල් නම උත්තරාරාමයයි. මෙහි ආදී කතෘ මහා පරාක්‍රමබාහු රජුය. සැතපෙන පිළිමයේ ශීර්ෂය අද්දර ඇති හිටි පිළිමය හැර සෙසු පිළිම කරවා ඇත්තේ  ඔහුය. එම හිටි පිළිමය පසු කාලීන නිර්මාණයක් ලෙස සැළකේ. ඊට හේතුව ආදී මූලාශ්‍රවල මෙ ස්ථානය ගැන කියවෙන විට හිටි පිළිමයක් ගැන සඳහනක් නැති වීමයි. 

      මේ හිටි පිළිමය බුදුන් වහන්සේගේ පරිනිර්වාණ අවස්ථාවේ ශෝකයට පත්ව සිටිය ආනන්ද හිමියන්ගේ යි ඇතැමෙක් සිතුහ. දැන් පිළිගැනෙන අයුරින්  මේ "පර දුක්ඛ දුක්ඛිත" මුද්‍රාවෙන් වැඩ ඉන්නා බුදුන්මය. මේ මුද්‍රාව බිතු සිතුවම්වල හැර, ප්‍රතිමාවක දැකිය හැක්කේද මෙහි පමණි. මේ බුදුන් වහන්සේම බවට තවත් සාක්ෂි දෙකකි. එකක්නම්, බුදුන්ට හැර අන් කිසිවකුට නෙළුම් පාදමක් නොදීමයි. අනෙක මෙම හිටි පිළිමයට වෙනම ආවරණයක් තිබුණු බවට ගල් පර්වතයේ සාධක තිබීමයි. එනම්, මෙය සහ සැතපෙන පිළිමය එකම කෘතියක කොටස් දෙකක් නොව කෘතීන් දෙකක් බවයි. 

      ඇත්ත වශයෙන්ම මෙහි ඇත්තේ සැතපෙන ඉරියවුව නොවේ. මෙහි ඇත්තේ පිරිනිවන් පෑ බුදුන් වහන්සේගේ  ශ්‍රී දේහයයි. සැතපෙන ඉරියවුවත් මෙයත් අතර වෙනස් කම් කිහිපයක් ඇත. චීවරය කඩා හැලුණු ලෙසක් පෙනේ. දෙපා එක මට්ටමට පිහිටා නැත. කන්වල සහ හස්තයේ යම් වෙනසක් ඇත්දැයි මේ රචකයාට නිශ්චිතව මතක නැත. 

      පිරිනිවන් මංචක පිළිමයේ දකුණු බාහුවේ පතුරක් ගැලවී ඇත. එය දිගු කාලීන පාරිසරික බලපෑමකි. සමහරෙක් මෙය ප්‍රදේශයේ ඇති ජන ප්‍රවාදයකට සම්බන්ධ කරති.  එයට  අනුව සුදු ජාතිකයෙක් මීට ඉදිරිපස ඇති ගල් තලාවේ සිට තම රයිපලයෙන් පිළිමයට වෙඩි තැබීය.  එසැණින් පිටුපස වන රොදින් මතු වූ අලියෙක් ඔහු ඔසවා ගල් තලාවේම ගසා ඇත. මෙහි සත්‍යතාවය මේ ලියන සාමාජිකයා හරිහැටි  නොදනී. එහෙත් රයිපල් උණ්ඩයකින් විය හැකි හානියට සමාන යමක් බාහුවේ නොව පපුවේ වම් පස දැකිය හැකිය. එය පෙනෙන්නේ සමීපව නිරීක්ෂණය කළොත් පමණි.