Wednesday, July 6, 2016

දළදා සමිඳු වැඩ විසු දඹදෙණිය විජයසුන්දරාරාමය

මාඝගේ ආක්‍රමණයෙන් අඩපණව තිබුණු ජාතිය නැවත පණ ගස්වා වන්නි රාජා හෙවත් තුන්වැනි විජයබාහු වර්ෂ 1232 හි දී දඹදෙණිය රාජ්‍යත්වයට පත් විය. එතැන් සිට ඇරඹෙන්නේ අනේක විධ දුක් ගැහැට මධ්‍යයේ තම ස්වෛරීත්වය රැක ගත් ජාතියක කතාන්තරයයි. ඔවුහු පෙර දවස මෙන් මහා වාපි කර්මාන්තයන් නොකළහ. මහා දාගැබ් වෙහෙර විහාර ඉදි නොකළහ. ඊට අවශ්‍ය දැනුමද සවියද ඔවුනට නොවීය. එහෙත් ඔවුහු තමන්ට හැකි පරිද්දෙන් ශාසනික, සමාජයීය කටයුතු නොපිරිහෙලා ඉටු කළහ. ඒ ධෛර්යයටත් ජාති වාත්සල්‍යයටත් නිසි ගෞරවය ලැබිය යුතුය. 


තුන්වැනි විජයබාහු රජු ජාතියේ ස්වෛරීත්වය නැවත පිහිටවුවද, තීරණාත්මක ලෙස මාඝ  පරාජය කළේ ඔහුගේ පුත්‍රයාය. නන් බඹර කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත දෙවැනි පැරකුම්බාවන් වඩා ප්‍රකට පඬිවරයකු ලෙසය. එහෙත් ඔහු සියලු ශාස්ත්‍රීය සහ ශාසනික සේවා අතරතුර මාඝ මෙන්ම චන්ද්‍රභානු නම් ජාවක (වර්තමාන මැලේසියාව) ආක්රමනිකයාටද මුහුණ දී රට රැක්කේය. සිය පියා ඉදි කළ දඹදෙණිය විජයසුන්දරාරාමයේ තෙමහල් දළදා මැදුරක් කරවූ ඔහු, පියාණන් විසින් බෙලිගල වඩා හිඳවූ දළදා වහන්සේ එහි වැඩමවීය. මෙය මුලින් තෙමහල්ව තිබී, කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවස මීගස්තැන්නේ අධිකාරම් විසින් පිළිසකර කිරීමේදී දෙමහල් කරවා ඇත.


මෙහි බෝධිය අසළ ඇත්තේ සපු වෘක්ෂයකි. පැරකුම්බා දවස, බෝධියත්  මේ සපු බෝධියත් අතර දළදා වහන්සේ පෙළහර පෑ බව කියැවේ. ඇත්ත වශයෙන්ම එදා තිබුනේ මේ සපු වෘක්ෂය නොවේ. මෙම වෘක්ෂය පසු කාලීනව රෝපණය කරන ලද්දකි.






චේතියඝරය සහිත කුඩා ස්ථුපය 
 



 මෙහි චේතියඝරය ඉදිරියේ කනප්පුවක් මෙන් පිහිටුවා ඇති සෙල් ටැඹ, එකල විශේෂ පූජෝත්සවවලදී දළදා වහන්සේ  පිටතට වැඩමවූ අවස්ථාවලදී වඩා හිඳුවීමට භාවිතා කරන ලදී.













 එකල රජ මාළිගයද පිහිටා ඇත්තේ  මීට නුදුරින් ඇති, අඩි 275 පමණ උසැති  මාළිගා ගල මතුපිටය. 
                                                            
                                                       
මාළිගාගලට යන පිය ගැට පෙළ
                      
දුරින් පෙනෙන ගල් තලාව රාජ සභා මණ්ඩපය පිහිටි තැනයි. පිය ගැට පෙළ ඇත්තේ ඊට පිටුපසිනි.






මාළිගාවේ නටබුන්

























මෙම පර්වතය වඩුවා කෙටු ගල ලෙස හැඳින්වේ. මෙය ඇත්තේ කුරුණෑගල මීගමුව මාර්ගයේ අනෙක් පසට වන්නට මඳ දුරකිනි. අතීතයේ වධක ස්ථානයක් බව ජනප්‍රවාදවල කියැවේ. ඊතලයෙන් දක්වා ඇති කොටසේ පඩි පෙළක් ද කොටා ඇත.

සංඛපාල රජ මහා විහාරය

පෙර කාවන්තිස්ස රජු කල, සිතුල් පව්ව ආශ්‍රිත කපිට්ඪ නම් ගමක් විය. එහි විසු අත්පල නම් කුල පුත්‍රයාට පුස්සදේව නම් පුතෙක් විය. ඔහු කුඩා කල, ගමේ මිතුරන් සමග පන්සල් ගිය විටෙක හක් ගෙඩියක් ගෙන පිම්බේය. ඒ මහා අසනිපාත රාවය ඇසු සියල්ලෝ උමතු වන තරම් බිය වැදුණහ. එතැන් පටන්ඔහු උන්මාද පුස්සදේව නම්  විය. 
  ඔහු පසුව තම පියාණන් වෙතින් දුනු ශිල්පය උගෙන එහි කෙල පැමිණියේය. ඔහුට ශබ්දයෙන්ද, අකුණු එළියෙන්ද ඉලක්කය ගත හැකි විය. අඟල් සොලොසක දිඹුල් ලීයක් හෝ අඟල් දෙකක යකඩයක් හෝ අඟල් සතරක ලෝහ තහඩුවක් හෝ පාසා කළ හැකි විය. ඔහුගේ හීය ගොඩ අට ඉස්බක් යයි; දියෙහි ඉස්බක් යයි. (ඉස්බක් යනු රියන් 140කි). කාවන්තිස්ස රජු තරුණ පුස්සදේව ගැන අසා රජ වාසල සේවයට බඳවා ගත්තේය.


පුස්සදේව කිසි දා ඉලක්කය නොවැරැදුණු ධනුර්ධරයෙකි. ඒ වන විට ඔහු භද්‍ර යෞවනයේ සිටි සෙනෙවියකු විය යුතුය. දුටුගැමුණු රජු ඔහුට "මලනුවනි" යනුවෙන් ආමන්ත්‍රණය කරන දෙබසක් මහා වංශයේ එයි.









පුස්සදෙවයෝ යුද්ධයෙන් පසු ගම්වර ආදියෙන් පිදුම් ලැබුහ. ඔහුගේ ගම්වරය ඇඹිලිපිටිය ආසන්නයේ පල්ලේබැද්දේ අක්කර 12,000 පුරා පැතිර තිබිණි. එහි විහාරයක් ඉදි කළ පුස්සදේව සෙනෙවියෝ, තමා යුද කාහලය නැංවූ සංඛය,  විහාරය තැනු කන්දෙහි නිදන් කළහ. පසු කලෙක තෙමේද සසුන් ගතව සසරින් එතෙර විය.





ඔහු කරවූ විහාරයේ , වර්තමාන සංඛපාල රජ මහා විහාරයේ, ඇති ලෙන් අතර, පුස්සදෙව සහ තවත් අය (ගෘහපති ගුප්ත ආදී) ලෙන් පූජා කළ බවට කටාරම් ලිපි ඇත. එක් කටාරමක යටින් හක් ගෙඩියක සලකුණක් කොටා ඇත. මහනුවර යුගයේදී, මෙම පුද බිම සුප්‍රකට පඬිරුවනක් වූ කොරතොට ධම්මාරාම හිමියන්ට රාජාධිරාජසිංහ රජු විසින් පූජා කරන ලදී.




මීට කිලෝමීටර දෙකක් පමණ දුරින් ඇති නටබුන් වූ ස්ථුපයක්, පුස්සදේව රහතන් වහන්සේගේ සොහොන ලෙස විශ්වාස කරනු ලැබේ. කෙසේ වුවද, මේ රචකයාගේ මතකයේ හැටියට, වලපනේ ප්‍රදේශයේ (ලංගම ඩිපෝව අසළ ) ඇති කුඩා ස්ථුපයක්, පුස්සදේව රහතන් වහන්සේගේ සොහොන හැටියට ප්‍රදේශවාසින් විසින් සලකනු ලැබේ. ඔවුන් සලකන්නේ උන් වහන්සේ ඒ ප්‍රදේශයේ වැඩ සිටි බවකි.

ජයාරූප උපුටා ගැනීම Explore Sri Lanka සඟරාවෙනි.

නුතන කොලොම්පුර හුදෙකලා වූ ප්‍රභූ රාජයකුගේ මතකය

කෝට්ටේ රාජධානිය පිබිදීමක් ද සශ්‍රීකත්වයක්ද තිබුණු යුගයක් වුවද, එහි භෞතික සාධක අපට දක්නට ලැබෙන්නේ ඉතා අඩුවෙනි. බොහෝ සාධක පසු කාලීන නගර නිර්මාණය නිසා විනාශ වී ඇත. ඇතැම් දෑ, තවමත් නාගරික ජනපදවලට මැදිව අප්‍රකටව පවතී.
රාජගිරිය කෝට්ටේ මාර්ගයේ, අලකේශ්වර පාරෙන් ඇතුළට ගිය විට හමුවන අලකේශ්වර මාළිගය ද මෙවැනි අප්‍රකට ස්ථානයකි.
ගම්පොළ පස්වැනි භුවනෙකබාහු යටතේ (1372 සිට 1408), ප්‍රත්‍යන්ත පාලකයකු ලෙස වීර නිශ්ශංක අලකේශ්වර ප්‍රභූ රාජයා කෝට්ටේ සහ රයිගම ප්‍රදේශය පාලනය කළේය. ඒ සමයේ ආර්ය චක්‍රවර්ති කෝට්ටේ වෙත එල්ල කළ ප්‍රහාර දෙකක්ම සාර්ථකව මැඩපවත්වා රාජධානිය රැක දුන්නේද මේ ප්‍රභූ  රාජයාය. අලකේශ්වරලා 13 වන සියවසෙහිදී මෙරටට සංක්‍රමණය වූ පවුලක් බවද, ඔවුන්ට මලයාලම් සම්භවයක් ඇති බවද කියැවේ. ඔවුහු මුලින් වෙළඳ කටයුතුවල නියැලී පසු කලෙක රාජ්‍යයේ උසස් තනතුරු දැරූහ.
කෙසේ වුවත්, ඔහු ජනතාව අතර දුෂ්ටයකු ලෙස සැලකුණු බවද කියැවේ. බේරුවලට පැමිණි චීන නාවික සෙන්පතියකු සමග ඇති කරගත් ගැටුමක් නිසා, ඊට වසර හයකට පසු 1411 හිදී ඒ සෙන්පතියා (ෂෙන් හෝ) නැවත පැමිණ අලකේශ්වර අත් අඩංගුවට ගෙන චීන අධිරාජයා වෙත ගෙන ගියේය. ඉන් පසු එම තනතුරට පත් වු කුමාරයා පසු කලෙක හය වැනි පරාක්‍රමබාහු නමින් ඔටුනු පළන් රජුය.
අලකෙශ්වරයන්ට චීන අධිරාජයා සමාව දී, පෙරළා එවූ බව චීන මුලාශ්‍රරවල කියවෙතැයි ඇතැම් විද්වතෙක් ප්‍රකාශ කරති. එහෙත් ඉන් පසු ඔහු අප්‍රකටය.
මෙහි දැක්වෙන ස්ථානය අලකෙශ්වරයන්ගේ මාළිගයේ නටබුන් වශයෙන්ද, ඔහුගේ සොහොන වශයෙන්ද මත දෙකක් ඇත. මෙහි හමු වී ඇති ඇතැම් ගෘහ ආම්පන්න නිසා, මෙය මාළිගයේ නටබුන් ලෙස ගැනීම වඩා සුදුසු විය හැකිය.


කාචයක සටහන්- විසිවන සියවසේ මුල

අනුරාධපුරයේ සහ පොළොන්නරුවේ ස්ථාන කිහිපයක් විසිවන සියවස මුලදී (එක් දහස් නවසිය ගණන්වල ආරම්භයේදී) තිබුණු අයුරු මෙම ජායාරූපවල දැක්වෙයි. උපුටා ගැනීම පහත දැක්වෙන කෘතියෙනි.
කෘතිය: Twentieth century impressions of Ceylon: Its history, people, commerce, industries and resources
සංස්කරණය ආනෝල්ඩ් රයිට්
ප්රකාශිත වසර: 1907
ප්රකාශනය Lloyds Greater Britain Publishing Company Ltd, ලන්ඩන් .
නැවත මුද්රණය 1999,
නැවත මුද්රණයේ ප්රකාශනය: Asian Educational Services, නව දිල්ලිය
ISBN 13: 9788120613355










ගල් කැටයමක රූ සිරි

කාලිංග මාඝගේ ආක්‍රමණයෙන් රජරට බිඳ වැටෙන විටද සුභ නම් සෙනෙවියකු මාඝට හිස නොනමා යාපහුවේ බලකොටුවක් තනාගෙන අවට ප්‍රදේශය මාඝට බිලි විය නොදී රැක්කේය. ඔහුගේ නමින් පව්ව සුභ පබ්බත නමින්ද හැඳින්විණි. යාපහුව රාජධානියක් ලෙස පැවතුනේ පළමුවැනි භුවනෙකබාහු රජුගේ කාලයේදී පමණ (වසර 11 පමණ ).
එහෙත් යාපහුවට ඊට වඩා බෙහෙවින් පැරණි ඉතිහාසයක් ඇත. එහි ක්‍රි. පූ තුන්වැනි සියවස තරම් ඈත කාලයකට අයත් සාධක ද ඇත. ඊට කිලෝමීටර තුනක් පමණ දුරින් පින්වැව ප්‍රදේශයේ, මැටි බරණිවල භෂ්මාවශේෂ වලලා ඒ මත ගල් ස්මාරක ඉදි කළ ඉපැරණි සොහොන් බිමක්ද ඇත. එහිදී යකඩ මෙවලම්ද සොයාගෙන ඇත. එය ක්රි. පූ. 450 ට පමණ අයත් වෙතැයි සැළකෙයි.

මෙහි පෙනෙන්නේ යාපහුව දළදා මාළිගයේ, සෙල්මුවා සී මැදුරු කවුළුවයි. මෙවැනි කවුළු දෙකක් ඇත. එකක් හමුවනවිටද කැඩී බිඳී එතනම වැටී ඇත. අනෙක හොඳ තත්ත්වයෙන් තිබුණු අතර දැන් ඒ අසල කෞතුකාගාරයේ තබා ඇත. මෙය ගල් කැටයම් අතර මුදුන් මල් කඩක් සේ සැළකෙයි. එහි ඉතා සියුම් ලෙස කුඩා රූ හතලිස් පහක් කැටයම් කර ඇත. ඒ අතර සත්ව, කුරුළු, මිනිස් මෙන්ම සූර්ය රුවද ඇත. එක් පැත්තක ඇති රූපය එලෙසම අනෙක් පැත්තේද නෙලා තිබේ.







යාපහුව කී සැණින් සිහියට නැගෙන්නේ යාපහුවේ සිංහ රූපයයි. එහෙත් මේ ගජ සිංහයෙකි. මකරකු බව ඇතැමකුගේ මතයයි. ඊට කාම්බෝජ ආභාෂය ඇති බැව් විද්වත්හු කියති. මෙහි කැටයම්වලට ජාවා රටේ ආභාෂයක් ඇති බවක් පරණවිතාන සූරීහු සිතති.





උග්ගල් අලුත් නුවර ඓතිහාසික කොස් රුප්පය


උග්ගල් අලුත් නුවර දේවාලය අදටත් නොකිලිටි භක්තියෙන් පුද සත්කාර වතාවත් කරමින් පවත්වාගෙන යන කතරගම දෙවිඳුන්ට කැප කළ දෙවොලකි; සුන්දර, සැනසිලිදායක, දෙවියන්ටද ප්‍රිය උපදවන අන්දමේ තැනකි.
මේ දේවාලය ඉදිකර ඇත්තේ සීතාවක රාජසිංහයන්ට  සමකාලීනව මේ ප්‍රදේශය පාලනය කළ යාපා නම් ප්‍රාදේශීය කුමාරයෙකි. ඇතැම් ප්‍රාදේශීය ජනප්‍රවාදවලට අනුව, මෙය කතරගම මහසෙන් දෙවියන් මිනිස් වෙසින් වසන කාලයේදීද සමහර විටෙක රාජ සභාවන් පැවැත්වූ තැනකි. දේවාල මළුවේ ඇති තනි පොල්ගස ඇති තැන පුරාණ
උමගක් තිබුණු බවට විශ්වාසයක් ඇත. මෙය පිහිටා ඇත්තේ බලන්ගොඩ සිට රත්නපුර මාර්ගයේ,  බලංගොඩ නගරයේ සිට කිලෝමීටර 8 පමණ දුරින් දකුණට ඇති අතුරු මාර්ගයකය.






මෙය පසෙකින් බොහෝ වයස්ගත කොස් වෘක්ෂයක් ඇත. බොහෝ දෙනා සිය දුක් ගැනවිලි කියා එහි බාර ගැට ගසති. පෙර කී යාපා කුමරු (යාපා රජු) සීතාවක රාජසිංහයන් සමග ගැටුමක් ඇති කරගෙන ඇත. ඒ වනවිටද මෙහි යම් පුජනීය ස්ථානයක් තිබුණු බව සිතිය හැකිය. සටන යාමට පෙර යාපා රජු මෙම කොස් වෘක්ෂය වෙත බාරයක් විය. සටනින් දෙපාර්ශවයම ජයක් නොලද්දාහ. රාජසිංහ රජු, යාපා රජු සමග ගිවිසුමකට එළඹීමට කැමැත්ත පළ කළේය. සිය බාරය ඔප්පු කරනු වස් යාපා රජු මේ දේවාලය කරවීය.
මෙම කොස් වෘක්ෂයට සත්කාර කරනු වස් අතීතයේ රාජකාරි භාර ප්‍රදේශවාසීහු සිටියහ. සිරි මා බෝ සමිඳුන් හැරුණු කොට රාජකාරි කැප කර තිබුණු එකම වෘක්ෂය මෙයයි.





මහලුව දිරාපත් කඳින් යුතු වුවද නොවෙනස් තපෝ ගුණය දක්වන මේ වෘක්ෂ රාජයෝ අදත් බැති සිතින් එන මිනිසුන්ගේ දුක් ගැනවිලි කුළුණින් අසති.

රුසිරු පෙතන්ගොඩ උයනට වැඩියාය- නපුරු උණ කටුව පතුලේ ඇනුණාය- එක්ව සිටි සැවොම වට වී මතුළාය- රාජසිංහ දෙවි නාමෙත් මැකුණාය

 කොළඹ පෘතුගීසි කොටු බැම්ම දෙදරවාගෙන උපන්, පෘතුගීසින්ට අත් මිදිය නොහැකි බියකරු සිහිනයක් වූ සීතාවක සිංහයා මෙහි සැතපෙන්නේය.
මායාදුන්නේගේ පුත්‍රයා වූ සීතාවක රාජසිංහ හෙවත් පළමුවැනි රාජසිංහයෝ උපන් ගෙයි රණ ශුරයෙක් වූහ. ඔහු උපන් දින පෘතුගීසි බලකොටුවේ බැම්ම පිපිරුණු බව ජනප්‍රවාදවල කියැවේ. ටිකිරි කුමාරයා මුලින්ම රණ බිමට යන්නේ නව වැනි වියෙහිදීය. හේ තරුණ අවධියේ මුල්ලේරියාවේදී පෘතුගීසින්ට සිය ආක්‍රමණ ව්‍යපාරරයේදී අත් විඳි කටුකතම පරාජය අත් කර දුන්නේය. සටනින් පසුව ටිකිරි කුමාරයාට සතුරු ලේ මිදී අතට ඇලුණු කඩුව ගලවා ගන්නට අත පොඟවන්නට සිදු වූ බව කියැවේ. ඔහු පෘතුගීසි සේනාව බලු බළල් මස් (ඇතැම් ජනප්‍රවාද අනුව මිනී මස්ද) කා දිවි ගැට ගසා ගන්නා තරමට අසරණ කළේය. අවාසනාවට ඔහුට නාවික බලයක් නොතිබුණි නිසා, දිගින් දිගටම ගෝවෙන් එන ආධාර නැවැත්විය නොහැකි විය.
ඔහු පිතෘ ඝාතකයෙකැයිද, ශාසන විලෝපකයෙකැයිද කියති. එහෙත් ඇතැමෙක් මෙය නොපිළිගනිති. ඇතැම් මුලාශ්‍ර  සහ ජනප්‍රවාද කියන්නේ මායාදුන්නේ රජු අසු වියක් (හෝ අසු එකක් ) ආයු වළඳා අභාවප්‍රාප්ත වූ බවයි. ඇතැම් ජනප්‍රවාදයකට අනුව, රාජසිංහයන් අතින් පියා මිය ගියද එය හුදෙක් අත් වැරද්දක් පමණි. ටිකිරි කුමරු පාලු කමතක කඩු සරඹ කරමින් සිටියේය. මායාදුන්නේ රජු මෙය දැක පිදුරු ගොඩකට මුවා වී බලා සිටියේය. කුමාරයා විවේකයක් ගන්නට සිතා අසළ තිබුණු පිදුරු ගොඩක තම කඩුව ඇන්නේය. එසේම ඔහු කලැයි කියල ශාසන විලෝපනයද කරුණු වරදවා දැක්වීමක් බව ඇතැමෙක් කියති. එය තමාට විරුද්ධකම් දැක්වූ භික්ෂුන් වහන්සේලා පිරිසක් කෙරෙහි කළ පලිගැනීමක් විනා ඇත්තෙන්ම ශාසන විලෝපනයක් නොවන බව සමහරෙක් පවසති.
ඔහු පසු කලෙක කන්ද උඩරට යටත් කර ගත්තේය. එහිදී හිටපු පාලකයා කරල්ලියද්දේ බණ්ඩාර සිය දරු දෙදෙනාත් සමග පෘතුගීසීන්ගේ රැකවරණයට පළා ගියේය. එයින් පසු කලෙක රාජසිංහයෝ කොළඹ කොටුව වෙත අති බිහිසුණු ප්රහාරයක් දියත් කළහ. ඔහුගේ මුළු අවධානයම එහි ගැලී තිබෙන අතර, කන්ද උඩරට ඔහුට විරුද්ධව යම් නොසන්සුන්තාවයක් හට ගති. මීට රාජසිංහයන්ගේ උදහසට ලක් වුයේ වීරසුන්දර බණ්ඩාර නම් ප්‍රාදේශීය ප්‍රභූවරයෙකි. රාජසිංහ රජු වීරසුන්දර බණ්ඩාරයන්ට පණිවිඩයක් යවා ගෙන්වා, අතර මගදී ඔහු බොරු වලක දමා මැරවීය.
වීරසුන්දර බණ්ඩාරගේ පුත් කොනප්පු බණ්ඩාර පළමුවැනි විමලධර්මසූරිය නමින් පසුව කන්ද උඩරට බලය ලබාගෙන රාජසිංහයන්ට මුහුණ දුන්නේය.  අනභිබවනීය රාසිං දෙවියෝ පැරදුනහ. බලන දුර්ගයේදී ඔහුගේ සේනාව බිඳී සී සී කඩ පලා ගියහ. රාජසිංහයෝ අසල සිටි හිතෛෂීන් කිහිප දෙනා ඇමතුහ. “මගේ ජීවිත කාලයටම මම රජකු නොදිටිමි. අද මා දුටුවේ ආනුභාව සම්පන්න රජෙකි. මාගේ කාලය අවසන්ය”.
රාජසිංහයෝ පසු බැස්සහ. පෙතන්ගොඩ උයන (රුවන්වැල්ලේ සිට ගලපිටමඩ දෙසට එන විට සියඹලාවලට නුදුරින්) පසුකර යන අතර උණ කටුවක් ඇනී රජු ඔත්පල විය. ඒ ගැනද විවිධ පුරාවෘත්ත සහ මුලාශ්‍ර ඇත. එකක් නම් රජු සර්ප දෂ්ටයකට ලක් වූ බවයි. අනෙක, රජු කෙරෙහි ක්‍රෝධයෙන් සිටි දොඩම්පේ ගණිතයා සහ රජුගේ මුනුබුරා තුවාලය පැසවන්නට සැලැස්වූ බවයි. මේ මුනුබුරා වන රාජසුරිය කුමාරයා රජුගේ තුවාලය පැසවන සේ විෂ ද්‍රව්‍ය බැන්දවූ බව යාපනයෙන් ලැබුණු පුස්කොළ ලිපියකින්ද තහවුරු වෙතැයි ආචාර්ය පෝල් ඊ පීරිස් මහතා පවසයි. කෙසේ හෝ, අතිශය ලැදි සිවු දෙනෙක් රජු එහි සිට පාරුවක නංවාගෙන කැළණි ගඟ දිගේ යාත්‍රා කළහ. අතර මගදී රාසිං දෙවියෝ කලුරිය කළහ. සෙසු සිව් දෙනා ඒ අසල ඉවුරට නුදුරු තැනක දේහය භූමදානය කළහ. මෙය සීතාවකපුර අපනයන සැකසුම් කලාපයට නුදුරින්, ගුරුගල්ල මංසන්ධියේ සිට තල්දුව දෙසට යන මග අතරමග පිහිටා ඇත.
බිහිසුණු රණ බිම් අරා සිය ඔද තෙද පැතිරවූ රාසිං දෙවියෝ, රණ බිමක හෝ සිරි යහනක් මත හෝ නොව ඔත්පලව සිට පාරුවක අවසන් හුස්ම හෙලුහ . ඔහු අවසාන සටනේදී තම ප්‍රතිවාදියා ගැන කළ තක්සේරුව ඉතිහාසය විසින් සනාථ කරන ලදී.
කෙසේ වුවද, මීට වෙනස් ජනප්‍රවාද සහ මුලාශ්‍ර ද ඇත . ඇතැම් ජනප්‍රවාදයකට අනුව, මෙහි මිහිදන් කොට ඇත්තේ වීරසුන්දර බණ්ඩාරයි.තවත් අයකුට අනුව, රාජසිංහයන් ආදාහනය කරන ලද්දේ වැලිවිටියේ හිඟුරමෝදරවත්ත නම් ස්ථානයේදීය.
රාජසිංහයන් මරණින් පසු ගනේගොඩ දෙවියන් නමින් දේවත්වයට පත් වූ බව විශ්වාස කැරෙයි. කොළඹ යටියන්තොට මාර්ගයේ කරවනැල්ල හන්දිය අසල පිහිටා ඇති, රාජසිංහයන් විසින් කරවන ලදැයි සැලකෙන කබුලුමුල්ලේ පත්තිනි දේවාලයෙහි ගනේගොඩ දෙවියෝද පිදුම් ලබති. ගනේගොඩ දෙවියන්ට කැප කළ දෙවොලක් හාපිටිගම් කෝරලයේ (මීරිගම ආශ්‍රීත ප්රදේශය) ඇතැයි අසා ඇතද ඒ ස්ථානය මේ ලියන සාමාජිකයා නොදනී.