කාලිංග මාඝගේ ආක්‍රමණයෙන් රජරට බිඳ වැටෙන විටද සුභ නම් සෙනෙවියකු මාඝට හිස නොනමා යාපහුවේ බලකොටුවක් තනාගෙන අවට ප්‍රදේශය මාඝට බිලි විය නොදී රැක්කේය. ඔහුගේ නමින් පව්ව සුභ පබ්බත නමින්ද හැඳින්විණි. යාපහුව රාජධානියක් ලෙස පැවතුනේ පළමුවැනි භුවනෙකබාහු රජුගේ කාලයේදී පමණ (වසර 11 පමණ ).
එහෙත් යාපහුවට ඊට වඩා බෙහෙවින් පැරණි ඉතිහාසයක් ඇත. එහි ක්‍රි. පූ තුන්වැනි සියවස තරම් ඈත කාලයකට අයත් සාධක ද ඇත. ඊට කිලෝමීටර තුනක් පමණ දුරින් පින්වැව ප්‍රදේශයේ, මැටි බරණිවල භෂ්මාවශේෂ වලලා ඒ මත ගල් ස්මාරක ඉදි කළ ඉපැරණි සොහොන් බිමක්ද ඇත. එහිදී යකඩ මෙවලම්ද සොයාගෙන ඇත. එය ක්රි. පූ. 450 ට පමණ අයත් වෙතැයි සැළකෙයි.
මෙහි පෙනෙන්නේ යාපහුව දළදා මාළිගයේ, සෙල්මුවා සී මැදුරු කවුළුවයි. මෙවැනි කවුළු දෙකක් ඇත. එකක් හමුවනවිටද කැඩී බිඳී එතනම වැටී ඇත. අනෙක හොඳ තත්ත්වයෙන් තිබුණු අතර දැන් ඒ අසල කෞතුකාගාරයේ තබා ඇත. මෙය ගල් කැටයම් අතර මුදුන් මල් කඩක් සේ සැළකෙයි. එහි ඉතා සියුම් ලෙස කුඩා රූ හතලිස් පහක් කැටයම් කර ඇත. ඒ අතර සත්ව, කුරුළු, මිනිස් මෙන්ම සූර්ය රුවද ඇත. එක් පැත්තක ඇති රූපය එලෙසම අනෙක් පැත්තේද නෙලා තිබේ.
යාපහුව කී සැණින් සිහියට නැගෙන්නේ යාපහුවේ සිංහ රූපයයි. එහෙත් මේ ගජ සිංහයෙකි. මකරකු බව ඇතැමකුගේ මතයයි. ඊට කාම්බෝජ ආභාෂය ඇති බැව් විද්වත්හු කියති. මෙහි කැටයම්වලට ජාවා රටේ ආභාෂයක් ඇති බවක් පරණවිතාන සූරීහු සිතති.
No comments:
Post a Comment