Tuesday, July 5, 2016

බත පිටුපස කතාව

අපට සැකයක් තිබුනා අපේ රටේ හිටපු අර පුරාණ ගල් යුගයේ මිනිස්සු, වෙනත් වචන වලින් කියනවා නම් බලංගොඩ මානවයා යම්කිසි කාලයකදී ශිෂ්ටාචාර මාවතට එන්නේ නැතුවම යම් කිසි කාලයකදී පසු බැහැලා ගියා කියලා. ඒ කියන්නේ ඔහු වනගත වෙලා ඒ වෙනුවට විදේශයකින් ආව ප්‍රජාවක් විශේෂයෙන් ඉන්දියාවේ දකුණු කොටසෙන් හෝ උතුරු කොටසෙන් ආව යම් කිසි ප්‍රජාවක් යකඩ භාවිතය, වී වගාව අශ්වයන් වැනි දේවල් ලංකාවට ගෙනල්ලා අපේ රටේ සංස්කෘතිය දියුණු කරලා ඒගොල්ලෝ ආධිපත්‍යය දරාගෙන ඉදිරියට ආ බව.

නමුත් අපේ මේ අවුරුදු 15කට සැලසුම් කරපු ව්‍යාපෘතියේන් ගෙවුණු අවුරුදු 09 තුළම ඊට එරෙහිව දැනුමක් නිශ්පාදනය කළා. ඒ කුමක්ද කිව්වොත්, අර සම්ප්‍රදායිකව හිතුවා වගේ බලංගොඩ මානවයාගේ පරම්පරාව පසු බැහැල ගියේ නැහැ කියන එක සනාත කළා. ඔවුන් යම්කිසි උත්සාහයක් දැරුවා ඔවුන්ගේ දඩයම් ජීවිතය, සංචාරක ජීවිතය අතහැරලා ඒ වෙනුවට යම් කිසි ඉදිරියකට එන්න. ඒ ඉදිරියට එන එක අපට පෙන්නන්න පුලුවන් වුණා. ඔවුන් දඩයමට අමතරව ශාක ආහාර, ඇට වර්ග පරිභෝජනය කරන්න පුරුදු වුනා කියන කාරණය පෙන්නන් පුළුවන් වුණා. 2015 දී අපි බලංගොඩ ඉලුක් කුඹුර , ලුණුගල්ගේ කියන ස්ථානයේ ගල් ගුහාවේ කරපු කැණීමෙන් අපට සොයා ගන්න පුළුවන් වුණා පිලිස්සී ගිය වී ඇට සමග ධාන්‍ය වර්ග 35ක්. ධාන්‍ය වර්ගම නෙවෙයි ඇට වර්ග 35ක් කිව්වොත් වඩා නිවැරදියි. ඒ අතර වීත් තියනවා. ඒ සමහර ඇට වර්ග අපි පරීක්ෂා කරලා අඳුනගන්න මහන්සි අරන් තියනවා. ඒ සමහර ඒව අද බෙහෙත් ද්‍රව්‍ය හැටියට පාවිච්චි කරන ඒවා. උදාහරණයක් හැටියට වලඳ සහල්, කුඩු මිරිස්ස, වල් අබ වගේ ඇට වර්ග එතන තියනවා.

ඒකෙන් අපට පේනවා මේ සිංහල වෙදකමට අයිති ඥානය, එහෙම නැත්නම් මෙයින් පරිභෝජනය කිරීමට හැකි ධාන්‍ය මොනවද කියන දැනුම ඉස්සෙල්ලම අත්හදා බලන්න පටන් ගත්තේ මේ ලුණුගල්ගේ හිටපු මිනිස්සු. අපි ඒ පිච්චිච්ච ධන්‍ය ඇටම විදේශ විද්‍යාගාර වලට යවලා මේක විද්‍යාත්මකව කාල නිර්ණය කළා. ඒ විද්‍යාගාර වලින් අපට කියල තියනවා මේ සාධක අවුරුදු 6,300ක් අවම වශයෙන් පරණයි කියන එක. ඒකෙන් අපට තේරෙනවා මීට 6300කට එපිට කාලයේදී මේ රටේ හිටිය මිනිස්සු මේ ධාන්‍ය ඇට වර්ග ආහාර ලෙස පරිභෝජනය කරන්න පටන් ගත්තයි කියන එක. ඒක තමයි මේ අවරුදු 9ක කාලය තුළ අපි නිෂ්පාදනය කරපු දැනුමේ පළවෙනිම දේ.

අනෙක් අතට ඔවුන් තාක්ෂණය වෙනස් කරල තියනවා. සම්ප්‍රදායික ගල් ආයුධ වෙනුවට අලුත් ගල් ආයුධ හදන්න පටන් අරන් තියනවා. පබළු වර්ග හදලා තියනවා. ගල් වලින් ගෙලේ පළඳින්න පුලුවන් තැලි හදලා තියනවා. ඉතින් අපේ පැරණි සමාජයේ අවුරුදු ලක්ෂ ගණනක් මේ රටේ ජීවත් වෙච්චි හෝමෝසාපියන්වරු ඉතිහාසය දෙසට, ශිෂ්ඨාචාරය දෙසට තල්ලු වෙනවා කියන එක ඉතාම ප්‍රගතිශීලි අදහසක්. ඒක එතෙක් දැනගෙන හිටියේත් නැහැ විශ්වාස කලේත් නැහැ. ඇත්තෙන්ම මේ දේශීයත්වය අරන් එන්නේ අර අවුරුදු ලක්ෂ ගණනක් අපේ රටේ ජීවත් වෙච්ච ඒ දඩයම් යුගයේ ප්‍රජාව බව අපි මේ ව්‍යාපෘතියෙදි කිව්වා. ඔවුන් ගොවියන් වෙන්න තැත් කළා.ඒත් මොනවා හරි හේතුවක් නිසා ඔවුන්ගේ ඒ වෑයම අපේ ඉතිහාසයට ඇතුළත් වෙලා රචනා වුනේ නැහැ.
(මහාචාර්ය රාජ් සෝමදේව මහතා) 

 සම්මුඛ සාකච්ජාව මෙතැනින්

No comments:

Post a Comment