Tuesday, July 5, 2016

කැණීමක මුල්‍ය පිරිවැය

කැණීමක් කරන්න අඩුම තරමේ සති හයක කාලයක්වත් අපි ක්ෂේත්‍රයේ ගත කරන්න ඕන. සාමාන්‍යයෙන් අපි අවුරුද්දේ පායන කාලේ මාස තුනක් විතර කැණීමකට ගන්නවා. නමුත් අපි සති 6 කින් කඩිනමින් සීමිත කැණීමක් නිම කළොත් අපට පුහුණු පුරා විද්‍යාඥයන් හෝ ශිෂ්‍යයන් අඩු ගණනේ හය දෙනෙක්වත් යොදවා ගන්න වෙනවා. පස් ප්‍රවාහනය වගේ නොයෙක් නොයෙක් කරණාවලට කම්කරුවන් හතර දෙනෙකුවත් යොදා ගන්න වෙනවා. කම්කරුවකුට දවසකට රුපියල් 1000 ගානේ දවස් හතලිස් පහකට විශාල මුදලක් ගෙවන්න වෙනවා. කැණීම් කරන්න යන අයට නවාතැන්, ආහාර ආදියට වියදම් කරන්න වෙනවා. කොළඹ ඉඳලා බඩු එකවරක් ගෙනයන්න ගෙනඑන්න වාහනයක් අවශ්‍ය වෙනවා.
ඒ වගේ වියදම් අපි පරිස්සමෙන් පිරිමසා ගත්තත්, අපට පිරිමසා ගන්නට බැරි වියදම් වගයක් තියෙනවා. ඒ තමයි අපේ ද්‍රව්‍ය කාල නිර්ණය සඳහා වන වියදම්. කාල නිර්ණය කරන කොට වඩා විශ්වාසදායක විද්‍යාගාරයකට එය යැවිය යුතුයි. ඉතින් අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පිහිටා තිබෙන Beta Analytics කියන ආයතනය. ඒ ආයතනය කාබන්, එහෙම නැත්නම් වෙනත් ජීව විද්‍යාත්මක ද්‍රව්‍යයක් කාල නිර්ණය කිරීමට අය කරන මුදල අපට පුළුවන් අන්තර්ජාලයට ගිහින් හොයා ගන්න. ඒ ගාස්තු ඔවුන්ගේ වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කරලා තියෙනවා.
අපි අඟුරු සාම්පලයක් යැව්වට පස්සේ දින නිර්ණය කරන්න ක්‍රම දෙකක් තිබෙනවා. එකක් සම්මත කාබන් දින නිර්ණය. ඒකට අපට ග්රෑම් විස්සක ද්‍රව්‍ය අවශ්‍යයි. පුරාවිද්‍යා කැණීමකදී අපට විශ්වාස නෑ හැම වෙලාවේම ග්රෑම් විස්සක් හොයා ගන්න පුළුවන් වෙයි කියලා. පස් දිය කරලා, පස් පා කරලා අපට ඊට අඩු ප්‍රමාණයක් හොයා ගන්න පුළුවන්. තව ක්‍රමයක් තියෙනවා AMS (Accelerated Mass Spectrometry)කියලා. ඒකට ඕනෑ මිලි ග්රෑම් නවයක් වැනි ඉතා කුඩා ප්‍රමාණයක්. බොහෝ අවස්ථාවල අඟුරු හිඟ නිසා මේ AMS ක්‍රමය භාවිතා කරන්න වෙනවා.AMS ක්‍රමය සඳහා සාම්පලයකට ඩොලර් 680 ක් වියදම් කරන්න වෙනවා. රුපියල් වලින් නම් 90,000 ක් විතර. කැණීමකදී එක සාම්පලයක් පමණක් දින නිර්ණය කිරීම කිසිසෙත් ප්‍රමාණවත් නෑ
විද්‍යාත්මකව. අඩුම තරමේ සාම්පල තුනක්වත් දින නිර්ණය කරන්න ඕන. ඊට අමතරව, කුරියර් සේවා සඳහා ගාස්තු, ඒවා යැවීමට පෙර ITI ආයතනයෙන් සහතිකයක් ලබා ගන්නා ඕන මේවා අහස් යන්ත්‍රයේ ගෙන යන්න නම් පුපුරණ ද්‍රව්‍ය නෙමෙයි කියලා. ඊට රු.9,000 ක් විතර වියදම් දැරිය යුතු වෙනවා. ඒ වගේම වෙනත් විශ්ලේෂණ කටයුතු තියෙනවා. උදාහරණයක් විදියට සතුන්ගේ ඇට කටු ලැබුණාම ඒවා පරීක්ෂා කිරීම සඳහා වෙනත් ආයතනවලට ගෙවන්න ඕන. සති හයක කැණීමක් කළාම අපට අවම වශයෙන් රුපියල් ලක්ෂ හයක් විතරක් මුදලක් වියදම් කරන්න වෙනවා.
(මහාචාර්ය රාජ් සෝමදේව මහතා)

සම්මුඛ සාකච්ජාව මෙතැනින් 

No comments:

Post a Comment