හලාවත සිට පුත්තලම දෙසට කිලෝමීටර් 7 පමණ ගොස් ඉන් පසු හමුවන ආණමඩුව මාර්ගය ඔස්සේ කිලෝමීටර් 12 පමණ ගෙවූ විට ඒ අසළ ඓතිහාසික නන්දිමිත්රාරාම නව වංගු රජ මහා විහාරය පිහිටා ඇත. මෙය සංරක්ෂණය නොකරුණු වටිනා පුද බිමකි.
යුද්ධයෙන් පසු නන්දිමිත්‍ර සෙනෙවියෝ දැදුරු ඔයෙන් උතුරුබඩ පෙදෙසෙහි ප්‍රාදේශීය පාලකයකු ලෙස කටයුතු කළහ. ඔහු එකල වාසය කර ඇත්තේද ඉහත කී පෙදෙස අවට යැයි කියැවේ. මේ ප්‍රදේශය ඔහුගේ උපන් ගමද වීයැයි සමහර ප්‍රදේශවාසීහු විශ්වාස කරති. එහෙත් ඇතැම් ජනප්රවාද අනුව, වවුනියාවෙන් කිලෝමීටර 3 පමණ කැබිතිගොල්ලෑව දෙසට ඇති මඩුකන්ද ඔහුගේ උපන් ගමයි. මහා වංශය අනුව ඔහුගේ ළදරු විය ගෙවුනේ පසේන කන්දරාජියෙහි එනම් නැගෙනහිර කඩරොදෙහිය. මේ කොහේදැයි පැහැදිලි නැත.
දැදුරු ඔයෙන් උතුරෙහි පරිපාලන කටයුතු කරන අතර නන්දිමිත්‍ර කරවූ මහා විහාර කර්මාන්තයකි, නවවංගු රජමහා විහාරය. දැන් මෙය ගරා වැටී ගොස් තිබුනද අතීතයේ විශාල විහාරාරාමයක් වුවාට සැක නැත. මෙහි චෛත්යය ගරා වැටී, පස් කන්දක් බවට පත්ව ඇත. මෙහි ගවේෂණ කටයුතු නිම කර සංරක්ෂණය කර නැති බැවින් ඉදි කිරීම් කළ නොහැකිය. මෙයට නවවංගු විහාරයයැයි කියනුයේ චෛත්‍ය මළුවේ මුළු නවයක් තිබුණු බැවින් යැයි කියැවේ. ඒ මුළු නවය නන්දිමිත්ර සෑදෙවුවේ සිය සහෝදර මහ සෙනෙවිවරුන් නව දෙනා සිහි වීම පිණිසලු. මළුවේ ප්‍රාකාරය අද දැකිය නොහැකිය. අතරින් පතර එහි අත්තිවාරමේ නටබුන් පෙනේ.
මේ චෛත්‍යය රුවන්මැලි මහා සෑයට සමකාලීන බව කියැවේ. මෙය අරඹන ලද්දේ රුවන්මැලි මහා සෑයට දිනකට පසු බව කියනු ලැබේ. චෛත්‍යයට පසෙකින් ගොඩනැගිල්ලක නටබුන් වශයෙන් ගල් කණු දක්නට ලැබේ. ඒ කණුවල ඉහළ කොටස නිමවා ඇති ආකාරය අනුව, එයට උඩින් තවත් මහලක් තිබුණු බව, එනම් එය දෙමහල් ගොඩනැගිල්ලක් බව සිතිය හැකිය. ඇතැම් ගල් කණු, සිතා මතා කරන ලද හානිවල සලකුණු දරයි. මේවා, වෙහෙර විහාර වැනසූ ආක්‍රමණික පිරිසකගේ ක්‍රියාවක් විය යුතුය. කාලිංග මාඝගේ හේවායන් මේ විහාරය වැනසූ බව කියැවේ.
මෙම විහාරයට අතීතයේ සුවිශාල භූමි භාගයක් අයත්ව තිබුනද දැන් ඇත්තේ ඉන් සුළු කොටසකි. අවට පුද්ගලික ඉඩම් සහ පොල් සංවර්ධන මණ්ඩලයේ ඉඩම් අතීතයේ මීට අයත් භූමියයි. අසල ඉඩමකින් ජීවමාන ප්රමාණයේ පිත්තල ප්‍රතිමාවක් හමු වී එය පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ භාරයට ගෙන ඇත. එය මිහිඳු හිමියන්ගේ බවට සැක කරනු ලැබේ. මෙහි පූර්ණ අධ්‍යයනයක් කර නැති නිසා, සොයා නොගත් පුරා වස්තුද මෙම බිමේ තිබිය හැකිය. මෑතදී වළක් කපන විට පුරාණ සඳකඩ පහනක් සහිත පඩි පෙළක් හමු වී ඇත. කාලයක් හිමිවරුන් නොමැතිව පාලුවට ගොස් තිබුණු මේ බිම නිදන් හොරුන්ටද ගොදුරු වී ඇත. දැන්නම් එහි වසර කිහිපයක සිට, එතැන මහත් සැදැහැවෙන් රැක බලා ගන්නා තරුණ හිමි නමක් වැඩ වසති.
මෙහි චෛත්‍යය අසල බිම විශාල ගල් පතුරක් ඇත. ජනප්‍රවාදවලට අනුව, විහාර කර්මාන්තය කරවනු පමණක් නොව නන්දිමිත්‍ර තම දෑතින් ද ඊට දායක විය. ඔහු මේ ගල් පතුර ඔසවාගෙන එමින් සිටියදී දුටුගැමුණු රජු කළුරිය කළ පුවත ඔහුට සැල විය. සිය ප්‍රිය මහ රජුගේ අභාවයෙන් ඇති වූ කම්පනය නිසා ඔහුට ගල් පතුර අත හැරිණි. ඒ ගල් පතුර අදද එතන ඇත.
No comments:
Post a Comment