සංගමුව එතරම් ප්‍රකට ස්ථානයක් නොවේ. එය පිහිටා ඇත්තේ කුරුණෑගල සිට දඹුල්ල දෙසට ගොකරැල්ල දක්වා ගමන් කර, ගොකරැල්ල මධ්‍ය මහා විද්යාලයේ සිට කිලෝමීටරයක් පමණ ගොස්, එතනින් මැද්දෙකැටිය වැව දෙසට කිලෝ මීටර දෙක හමාරක් පමණ ගිය විටය. සිත්කළු වටපිටාවක, තරමක් උස බිමක පිහිටි මේ පුද බිම දෙවන පෑතිස් රජ සමයෙහි සිට පැවත එන්නකි. වර්තමානයේ අප්‍රකට කුඩා විහාරස්ථානයක් වුවද මෙය පෙර රජ දවස භික්ෂුන් වහන්සේලා මෙන්ම භික්ෂුණින් වහන්සේලා විශාල පිරිසක් සඳහා ආවාස තිබුණු, රහතන් වහන්සේලාගේ ගුණ සුවඳ දැවටුණු විශාල විහාර භූමියක් බව කියැවේ.
ගෝටයිම්බර සෙනවියාගේ දේවියගේ ගම් පළාත මේ බව ජනප්‍රවාදයේ එයි. ඔවුහු දෙපල මෙහි දායකයෝද වූහ. මෙහි මුදුනේ ඇති ඇතැම් ලෙනක් ගෝටයිම්බරයන් විසින් කරවන ලදැයි විශ්වාස කරනු ලැබේ. ගෝටයිම්බර දේවිය පසු කලෙක සසුන්ගතව රහත් වූ බවද, ඒ මෙහෙණින් වහන්සේ වැඩ සිටියේ මෙහි බවද කියනු ලැබේ. ගෝටයිම්බර සෙනෙවියාද පසු කලෙක පැවිදිව වනවාසී විය. තවද, අප රටේ අවසන් රහතන් වහන්සේ ලෙස සැලකෙන මලියදේව මහ රහතන් වහන්සේ රහත් වුයේ මෙහිදීයැයි කියැවේ.
මෙයද සංරක්ෂණයට ලක් නොවූ ස්ථානයකි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව 2006 දී සංරක්ෂණ කටයුතු අරඹා ඇතත් එය නැවතී ඇත. සංරක්ෂණ කටයුතු සම්පුර්ණ කර නැති බැවින් අලුත්වැඩියා හෝ නව ඉදි කිරීම් හෝ කළ නොහැකිය. මෙහි ලෙන් විහාරය මහනුවර යුගයේදී පිළිසකර කර ඇත.
මේ විහාරස්ථාන භූමියේ තවත් දුලබ ඓතිහාසික සිහිවටනයක් ඇත. මහා පරාක්‍රමබාහු රජ වීමට පෙර දක්ඛිණ දේශයේ පාලකයාව සිටියේය. ඒ දෙවැනි ගජබාහුගේ රාජ්‍ය සමයයි. ගජබාහු මහා විජයබාහුවන්ගේ මුණුබුරෙකි. පරාක්‍රමබාහු මහා විජයබාහුවන්ගේ නැගණියගේ මුණුබුරෙකි. කිරුළ ලබා ගැනීමේ නොතිත් ආශාවෙන් පෙළුණු පරාක්‍රමබාහු කුමරු ගජබාහු රජුට විරුද්ධව කැරලි ගසා පොලොන්නරුවටම පැමිණ රජුද අත් අඩංගුවට ගත්තේය.ශ්‍රේෂ්ට පාලකයකු වුවද පරාක්‍රමබාහු අතිශය බලකාමියෙකි. ඒ අවස්ථාවේ සංඝයා වහන්සේ මැදිහත්ව ගැටුම සමාදාන කළහ. එවකට මහලු ව සිටි ගජබාහු රජුට පුතුන්ද නොවූ බැවින් ඔහුගෙන් පසු සිහසුනට පැහැදිලි උරුමකරුවෙක් නොසිටියේය. ඒ අනුව ඔවුහු දෙදෙනා සමගී සම්මුතියකට එළඹ එය මැදිරිගිරිය විහාරයේ ගලක කොටවා තැබුහ. එය තවත් තැන්වල පිටපත් කරන්නට ඇත. මුල් සෙල් ලිපිය සොයා ගත නොහැකිය. එහි පිටපතක් සංගමුව රජ මහා විහාරයේ ඇත. එහි මෙසේ කියැවේ.
"යහපතක්ම වේවා ! මහා සම්මත පරම්පරාවෙන් නොසිඳී පැවති, සත්යයම ධනය කොට ගත් ගජබාහු සහ පරාක්රමබාහු යන දෙමස්සිනාවරු වම්හ. අප ඇති කර ගත මෙම සම්මුතිය අනුව ජීවිතාන්තය දක්වා සටන් නොකරමු. එක් අයකුගේ මරණින් පසු රාජ්‍යය අනෙකාට අයත් වේ. මේ රාජ්‍යය වැනසෙන අයුරින් (කියැවිය නොහැකි කොටසක්) ... අප දෙදෙනාගෙන් එකකුට සතුරු වූ රජ දරු කෙනෙකු ඇත්නම් ඔවුහු අප දෙදෙනාටම සතුරු වෙත්. මේ සම්මුතියට විරුද්ධ වූ යමක් අප කළහොත් තුණුරුවන්ගේ අණ නොතකා ක්‍රියා කළෝ වෙමු. අපායෙන්ද නොමිදුනෝ වෙමු. සඳ තරු පවතිනා තාක් මේ සම්මුතිය සහිත ලේඛනය ආරක්ෂා වේවා. අනුන්ගේ යහපතම ධනය කොට ඇති අප දෙදෙනාගේ මේ අවිරුද්ධතාවය ස්නේහයෙන් තෙත් වේවා."
මේ සම්මුතිය දෙපාර්ශවය අතින්ම සුරැකිණි. පරාක්‍රමබාහු කිසි විටෙකත් ගජබාහු රජුට බාධා නොකළේය. රුහුණේ සිටි මානාභරණ නම් කුමාරයෙක් ගජබාහු රජු වෙනත් සම්මුතියක් සඳහා පොළඹවා ගැනීමට තැත් කළ නමුත් ගජබාහු රජු එය පිළිකෙව් කළේය.
No comments:
Post a Comment