කොළඹ පෘතුගීසි කොටු බැම්ම දෙදරවාගෙන උපන්, පෘතුගීසින්ට අත් මිදිය නොහැකි බියකරු සිහිනයක් වූ සීතාවක සිංහයා මෙහි සැතපෙන්නේය.
මායාදුන්නේගේ පුත්‍රයා වූ සීතාවක රාජසිංහ හෙවත් පළමුවැනි රාජසිංහයෝ උපන් ගෙයි රණ ශුරයෙක් වූහ. ඔහු උපන් දින පෘතුගීසි බලකොටුවේ බැම්ම පිපිරුණු බව ජනප්‍රවාදවල කියැවේ. ටිකිරි කුමාරයා මුලින්ම රණ බිමට යන්නේ නව වැනි වියෙහිදීය. හේ තරුණ අවධියේ මුල්ලේරියාවේදී පෘතුගීසින්ට සිය ආක්‍රමණ ව්‍යපාරරයේදී අත් විඳි කටුකතම පරාජය අත් කර දුන්නේය. සටනින් පසුව ටිකිරි කුමාරයාට සතුරු ලේ මිදී අතට ඇලුණු කඩුව ගලවා ගන්නට අත පොඟවන්නට සිදු වූ බව කියැවේ. ඔහු පෘතුගීසි සේනාව බලු බළල් මස් (ඇතැම් ජනප්‍රවාද අනුව මිනී මස්ද) කා දිවි ගැට ගසා ගන්නා තරමට අසරණ කළේය. අවාසනාවට ඔහුට නාවික බලයක් නොතිබුණි නිසා, දිගින් දිගටම ගෝවෙන් එන ආධාර නැවැත්විය නොහැකි විය.
ඔහු පිතෘ ඝාතකයෙකැයිද, ශාසන විලෝපකයෙකැයිද කියති. එහෙත් ඇතැමෙක් මෙය නොපිළිගනිති. ඇතැම් මුලාශ්‍ර සහ ජනප්‍රවාද කියන්නේ මායාදුන්නේ රජු අසු වියක් (හෝ අසු එකක් ) ආයු වළඳා අභාවප්‍රාප්ත වූ බවයි. ඇතැම් ජනප්‍රවාදයකට අනුව, රාජසිංහයන් අතින් පියා මිය ගියද එය හුදෙක් අත් වැරද්දක් පමණි. ටිකිරි කුමරු පාලු කමතක කඩු සරඹ කරමින් සිටියේය. මායාදුන්නේ රජු මෙය දැක පිදුරු ගොඩකට මුවා වී බලා සිටියේය. කුමාරයා විවේකයක් ගන්නට සිතා අසළ තිබුණු පිදුරු ගොඩක තම කඩුව ඇන්නේය. එසේම ඔහු කලැයි කියල ශාසන විලෝපනයද කරුණු වරදවා දැක්වීමක් බව ඇතැමෙක් කියති. එය තමාට විරුද්ධකම් දැක්වූ භික්ෂුන් වහන්සේලා පිරිසක් කෙරෙහි කළ පලිගැනීමක් විනා ඇත්තෙන්ම ශාසන විලෝපනයක් නොවන බව සමහරෙක් පවසති.
ඔහු පසු කලෙක කන්ද උඩරට යටත් කර ගත්තේය. එහිදී හිටපු පාලකයා කරල්ලියද්දේ බණ්ඩාර සිය දරු දෙදෙනාත් සමග පෘතුගීසීන්ගේ රැකවරණයට පළා ගියේය. එයින් පසු කලෙක රාජසිංහයෝ කොළඹ කොටුව වෙත අති බිහිසුණු ප්රහාරයක් දියත් කළහ. ඔහුගේ මුළු අවධානයම එහි ගැලී තිබෙන අතර, කන්ද උඩරට ඔහුට විරුද්ධව යම් නොසන්සුන්තාවයක් හට ගති. මීට රාජසිංහයන්ගේ උදහසට ලක් වුයේ වීරසුන්දර බණ්ඩාර නම් ප්‍රාදේශීය ප්‍රභූවරයෙකි. රාජසිංහ රජු වීරසුන්දර බණ්ඩාරයන්ට පණිවිඩයක් යවා ගෙන්වා, අතර මගදී ඔහු බොරු වලක දමා මැරවීය.
වීරසුන්දර බණ්ඩාරගේ පුත් කොනප්පු බණ්ඩාර පළමුවැනි විමලධර්මසූරිය නමින් පසුව කන්ද උඩරට බලය ලබාගෙන රාජසිංහයන්ට මුහුණ දුන්නේය. අනභිබවනීය රාසිං දෙවියෝ පැරදුනහ. බලන දුර්ගයේදී ඔහුගේ සේනාව බිඳී සී සී කඩ පලා ගියහ. රාජසිංහයෝ අසල සිටි හිතෛෂීන් කිහිප දෙනා ඇමතුහ. “මගේ ජීවිත කාලයටම මම රජකු නොදිටිමි. අද මා දුටුවේ ආනුභාව සම්පන්න රජෙකි. මාගේ කාලය අවසන්ය”.
රාජසිංහයෝ පසු බැස්සහ. පෙතන්ගොඩ උයන (රුවන්වැල්ලේ සිට ගලපිටමඩ දෙසට එන විට සියඹලාවලට නුදුරින්) පසුකර යන අතර උණ කටුවක් ඇනී රජු ඔත්පල විය. ඒ ගැනද විවිධ පුරාවෘත්ත සහ මුලාශ්‍ර ඇත. එකක් නම් රජු සර්ප දෂ්ටයකට ලක් වූ බවයි. අනෙක, රජු කෙරෙහි ක්‍රෝධයෙන් සිටි දොඩම්පේ ගණිතයා සහ රජුගේ මුනුබුරා තුවාලය පැසවන්නට සැලැස්වූ බවයි. මේ මුනුබුරා වන රාජසුරිය කුමාරයා රජුගේ තුවාලය පැසවන සේ විෂ ද්‍රව්‍ය බැන්දවූ බව යාපනයෙන් ලැබුණු පුස්කොළ ලිපියකින්ද තහවුරු වෙතැයි ආචාර්ය පෝල් ඊ පීරිස් මහතා පවසයි. කෙසේ හෝ, අතිශය ලැදි සිවු දෙනෙක් රජු එහි සිට පාරුවක නංවාගෙන කැළණි ගඟ දිගේ යාත්‍රා කළහ. අතර මගදී රාසිං දෙවියෝ කලුරිය කළහ. සෙසු සිව් දෙනා ඒ අසල ඉවුරට නුදුරු තැනක දේහය භූමදානය කළහ. මෙය සීතාවකපුර අපනයන සැකසුම් කලාපයට නුදුරින්, ගුරුගල්ල මංසන්ධියේ සිට තල්දුව දෙසට යන මග අතරමග පිහිටා ඇත.
බිහිසුණු රණ බිම් අරා සිය ඔද තෙද පැතිරවූ රාසිං දෙවියෝ, රණ බිමක හෝ සිරි යහනක් මත හෝ නොව ඔත්පලව සිට පාරුවක අවසන් හුස්ම හෙලුහ . ඔහු අවසාන සටනේදී තම ප්‍රතිවාදියා ගැන කළ තක්සේරුව ඉතිහාසය විසින් සනාථ කරන ලදී.
කෙසේ වුවද, මීට වෙනස් ජනප්‍රවාද සහ මුලාශ්‍ර ද ඇත . ඇතැම් ජනප්‍රවාදයකට අනුව, මෙහි මිහිදන් කොට ඇත්තේ වීරසුන්දර බණ්ඩාරයි.තවත් අයකුට අනුව, රාජසිංහයන් ආදාහනය කරන ලද්දේ වැලිවිටියේ හිඟුරමෝදරවත්ත නම් ස්ථානයේදීය.
රාජසිංහයන් මරණින් පසු ගනේගොඩ දෙවියන් නමින් දේවත්වයට පත් වූ බව විශ්වාස කැරෙයි. කොළඹ යටියන්තොට මාර්ගයේ කරවනැල්ල හන්දිය අසල පිහිටා ඇති, රාජසිංහයන් විසින් කරවන ලදැයි සැලකෙන කබුලුමුල්ලේ පත්තිනි දේවාලයෙහි ගනේගොඩ දෙවියෝද පිදුම් ලබති. ගනේගොඩ දෙවියන්ට කැප කළ දෙවොලක් හාපිටිගම් කෝරලයේ (මීරිගම ආශ්‍රීත ප්රදේශය) ඇතැයි අසා ඇතද ඒ ස්ථානය මේ ලියන සාමාජිකයා නොදනී.
No comments:
Post a Comment