Tuesday, July 5, 2016

මහාචාර්ය රාජ් සෝමදේව පුරාවිද්‍යා පර්යේෂණ අරමුදල

ලෝකයේ අපේ ජාතියට තරම් දීර්ඝ ඉතිහාසයක් ඇත්නම් ඒ චීන ජාතියට පමණි. මීට වසර 38,000 කට පූර්ව යුගයට අයත් යයි සැලකෙන "බලංගොඩ මානවයා"ලෙස හඳුන්වන මිනිස් ඇටසැකිල්ල දකුණු ආසියාවේ හමුවූ පැරණිම මිනිස් ඇටසැකිල්ල ලෙස ලොවම පිළිගන්නා කරුණකි.
අපේ වංශ කතාකරුවන්ට අනුව මීට වසර 2,600 කට පමණ පෙර අපේ රටට පැමිණි විජය සහ ඔහුග් සහපිරිවරගෙන් ලංකාව ජනාවාස වීම සිදුවේ. ඉන් පසු අපේ ඉතිහාසය ගැන බොහෝ දුරට පැහැදිලි චිත්‍රයක් අපට ඇත. නමුත් බලංගොඩ මානවයාගේ සිට විජය පැමිණීම දක්වා අතරතුර කාලය තුළ අපේ රටේ සිදු වී ඇති දේ ගැන අපට ඇත්තේ අපැහැදිලි චිත්‍රයකි.මේ කාලය තුළ අපේ රටේ සිදු වී ඇති දේ ගැන බොහෝ මත පළ වන අතර එලෙස විවිධ අදහස්, මතිමතාන්තර, ප්‍රවාද ගොඩ නැගෙන්නේ මේ යුගය පිළිබඳව විධිමත් අධ්‍යනයක් සිදු වී නැති නිසාය.
ඉතා විශාල භූමියක් පුරා පැතිරුණු ඉන්දියාවේ හමු නොවී, ලංකාව වැනි ඉන්දියාවෙන් වෙන්වූ කුඩා දුපතක බලන්ගොඩ මානවයාගේ හෙවත් දකුණු ආසියාවේම පැරණි යයි සැලකෙන අපේ ආදීම මුතුන් මිත්තන්ගේ ශේෂ හමුවීමත් අහඹු සිදුවීමක් නොවේ. එසේ නම් බලන්ගොඩ මානවයාගේ පරපුර අඛණ්ඩව ලක් පොලොව මත බිහිව නැසුනේ නම් ඒ මානවයන්ගේ සිට විජයගේ ආගමනය තෙක් කිසිවකු,කොතනකවත් සටහන් නොකළ ඒ ඉතිහාසගත හිඩැස තුල ජිවත් වූ මිනිසුන් කවුද?ඔවුන් විජයගේ ආගමනය තෙක් පැවතුනාද ?ඔවුන්ගේ චර්යාවන් කෙසේද?ඇවතුම් පැවතුම් කෙසේද?ආහාර පුරුදු,ඇඳුම් පැළඳුම්,කළා හැකියාවන් වැනි සමාජීය අංශ වර්ධනය වුනේ කෙසේද? විශේෂයෙන්ම ඔවුන්ගේ දේශීය බුද්ධි පරිණාමය සිදු වුයේ කෙලෙසද? යන්න අප ඉදිරියේ පැන නගින ගැටලුවකි.
                                                                                                                         
 
මහාචාර්ය රාජ් සෝමදේව වෙත අප අවධානය යොමු කරන්නේ මේ සියලු ගැටලුවලට බොහෝ පිළිතුරු ඔහුගේ පර්යේෂණ මගින් පුරාවිද්‍යාත්මකව සනාථ කොට සම්මත යයි පිළිගන්නා බටහිර දැනුමේ නවීන තාක්ෂනය අනුව සාධක සහිතව ලබාදීමට හැකි වීම නිසයි.ඒ පර්යේෂණ වලින් ගම්‍ය වන්නේ මිට වසර එක ලක්ෂ විසි දහසකට පෙර හෝමෝ සේපියන් මානවයා ලංකාවට ප්‍රවේශ වීමත් ඉන් පසුව ඒ මානවයා ලංකාව තුල ලංකාවේ පරිසර පද්ධතිවලට අනුරූපව , මේ මහපොළව තුල විකාශනය වූ ආකාරය සහ ඒ මතින් ලංකා ශිෂ්ටාචාරය ගොඩ නැගුනු අයුරුත්ය.එමගින් මෙතෙක් ඉන්දියාව මත පදනම් වූ අපේ ඉතිහාසය සහ අපේ ශිෂ්ටාචාරය තවදුරටත් එසේ විය යුතුද යන්න ප්‍රශ්න කෙරේ.

මේ පිළිබඳව තොරතුරු අපේ පිටුව හරහා ඉදිරියේදී ඉදිරිපත්කිරීමට බලාපොරොත්තු වෙමු. අප මහාචාර්ය රාජ් සෝමදේව පුරාවිද්‍යා පර්යේෂණ අරමුදල වැනි දෙයක් ආරම්භ කිරීමට හේතුව රාජ්‍ය අනුග්‍රහය සහ මුල්‍ය ප්‍රතිපාදන අඩුවෙන් ලැබෙන ක්ෂේත්‍රයක් වන පුරාවිද්‍යාව වැනි විෂයක් තුල රැඳෙමින් රාජ් සෝමදේවයන් අඛණ්ඩව සිදු කරගෙන යන මේ වැඩපිළිවෙල සහ ඔහුගේ පර්යේෂණ වලට ශක්තියක් වෙමින් සහයෝගය ලබාදෙමින් ඉන්දියාවට යටවුනු අපේ සැබෑ ඉතිහාසය නැවත සමාජය මත ප්‍රතිෂ්ඨාපනය කිරීම සියලු පුරවැසියන්ගේ ජාතික වගකීමක් බව සිතු නිසයි.
කිසිවෙකු ප්‍රශ්න නොකරන,වැඩි අවධානයක් යොමු නොකරන පැතිකඩක් දෙසට මහාචාර්ය රාජ් සෝමදේව වැනි ප්‍රාඥයකු අවධානය යොමු කිරීම මහත් භාග්යක් කොට සැලකිය යුතුය. ඔහු සිදු කරමින් යන මිල කල නොහැකි සේවය අප අගය කල යුතුය. අපේ රටේ බොහෝ උගතුන් බටහිර රටවල් වල විකිනෙද්දී ඝන වනාන්තර තුල,කඳු පල්ලම් තරණය කරමින්,ගල් ගුහාවල් කණිමින්,මැසි මදුරුවන්ට කුඩල්ලන්ට ලේ දන් දෙමින්, කුඩාරම් තුල නිදමින් මහාචාර්ය රාජ් සෝමදේව සිදු කරන්නේ අපමණ කැප කිරීමකි.එතුමා සොයන්නේ ජාතියේ දැනුම සහ ජාතියේ විකාෂණයයි.ඒ වෙන කිසිවෙකු සඳහා නොව අපවත් අපේ නුපන් පරපුරත් ලෝකය හමුවේ අභිමානයෙන් ඔසවා තැබීමටයි.
වර්තමානයේ අප ජීවත් වන්නේ පුරාවිද්‍යාත්මක ස්ථාන සහ පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත වස්තූන් සීඝ්‍රයෙන් විනාශ වෙමින් පවතින යුගයකය. එසේ විනාශ වන්නේ හුදෙක් සෙල් ලිපියක්, නටබුන් වූ චෛත්‍යයක්, හෝ බුදු පිළිමයක් පමණක් නොවේ. අපේ ජාතියේ සැබෑ උරුමයයි. අපේ අතීතය පමණක් නොව වර්තමානය සහ අනාගතයයි. එබැවින් පස් වලට යට වී හෝ වසර දහස් ගණනක් ආරක්ෂා වී තිබූ අපේ උරුමය සදහටම අපෙන් අහිමි වීමට පෙර, රැක ගැනීමට දායකත්වය සුළු වශයෙන් හෝ ලබා දීමට පෙළ ගැසීම අපේ යුතුකමක් ලෙස සලකමු.
 



මහාචාර්ය රාජ් සෝමදේව මහතා "අපේ උරුමය" කණ්ඩායම ගැන 

"අපි පහුගිය අවුරුදු නවයක කාලය තුළ කරපු වැඩ කටයුතු දැක පැහැදී විදේශගතව බොහොම දුෂ්කර ජීවිතයක් ගත කරන ශ්‍රී ලාංකිකයින් අපට කතා කළා. ඔවුන් කිව්වේ අපි දුර බැහැර ඉන්න නිසා මේවට ඇවිත් භෞතිකව උදව් කරන්න පුළුවන් කමක් නෑ ඒත් වියදම්වන ප්‍රතිපාදන වලට යම් උරදීමක් කරන්න පුළුවන්. ඒ සඳහා ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වන අයට ඒ සදහා අවස්ථාවක් ලැබෙන්න යම් අරමුදලක් පිහිටුවාගෙන යාමේ වැදගත්කම සදහන් කළා. මම මුල් අවස්ථාවේ ඒකට එතරම් එකගතාවක් දැක්වූයේ නැහැ. ඉතින් ඒ ගොල්ලෝ ඉතාම උවමනාවෙන් ඇහුවා මේ පර්යේෂණ වැඩවලට කැමැත්තෙන් යම් ප්‍රතිපාදනයක් දීලා ඊට දායක වෙන්න පුළුවන් කොයි විදිහටද කියලා. පසුව මම ඉතාම සද්භාවයෙන් කරන මේ කටයුත්ත ගැන අවබෝධකරගෙන සාකච්ඡා කරලා එයාලට මම එකගතාවයක් ලබා දුන්නා. යම් කෙනෙක් ස්වේච්ඡාවෙන්ම මීට දායක වෙන්න කැමති නම් ඒ සඳහා ගිණුමක් ආරම්භ කරලා එය ඉතා පාරදෘශ්‍ය ආකාරයකට පවත්වාගෙන යාම සුදුසුයි කියලා. ඒ ගොල්ලන්ගේ ඉල්ලීම මත මම බැංකු ගිණුමක් විවෘත්ත කරලා ඒ විස්තර අපේ උරුමය සංවිධානයේ අයට ලබා දුන්නා. මොකද එවැනි සංචිතයක් පවත්වාගෙන යාම සුදුසුයි කියලා සමහර අවස්ථාවල මටත් කල්පනා වෙලා තියෙනවා. ප්‍රතිපාදන සපයා ගැනීමේ දුෂ්කරතාවය නිසා සමහර අවස්ථාවල අගුරු සාම්පල් මම ගෙදර තියාගෙන ඉදලා තියෙනවා මාස දෙක තුන.

ඒ නිසා රටට ආදරය කරන මේ වගෙ පිරිසක් දෙයක් කරන්ට ඉදිරිපත් වීම මම හිතනවා ඒක ඇත්තෙන්ම තමන්ගේ මාතෘ භූමියේ අතීතය උරුමය සෙවීමට දක්වන විශාල උපකාරයක් කියලා. මොකද අපේ රටේ මේ සම්බන්ධයෙන් වගකිවයුතු ආයතන තිබුණත් මේ වගේ කටයුතු සඳහා ප්‍රතිපාදන යෙදවීමේ ප්‍රමුඛතාවයක් නෑ. නොලැබෙනවා නෙවෙයි ලැබෙනවා. එය ප්‍රමාණවත් නෑ. නමුත් මේ තරුණ පිරිස අවබෝධ කරගෙන තිබෙනවා මේ රටේ උරුමය රැකගැනීම රජයට අයිති කාරණයක් පමණක් නෙවෙයි ඒකට පුරවැසියන් හැටියට තමන්ටත් වගකීමක් තිබෙන බව. මේ ගැන කල්පනා කරලා බලලා කවුරු හරි ස්වේච්ඡාවෙන් දායක වෙන්න කැමති නම් අපේ උරුමය සංවිධානය මුලික කරගෙන කරන්න. මේක බොහොම පාරදෘශ්‍යයි. විවෘතයි. මගේ අධීක්ෂණයට එය හැමවෙලාවෙම ලක්වෙනවා".

සම්මුඛ සාකච්ජාව මෙතැනින්
https://www.facebook.com/apea.urumaya/videos/1599962983666366/

No comments:

Post a Comment