පහත උපුටනය උදුල බණ්ඩාර අවුසදහාමි මහතාගේ “වැව” නම් කෘතියෙනි. කතුවරයා ගැන කෙටි හැඳින්වීමක් කරන්නේ නම්, ඔහු මින්නේරිය ආසන්නයේ රොටවැව ගම්මානයේ හැදී වැඩුණු සැබෑ ගැමි වියතෙකි. මොරටු සරසවියේ “නිර්මිත පරිසරය” (Built Environment) පිලිබඳ ආදී විද්යාර්ථියෙකි. පෞද්ගලික, රාජ්ය සහ අර්ධ රාජ්ය ආයතන ගණනාවක සේවය කර අවසානයට ICTAD ආයතනයේ සභාපති තනතුර දරා මෑත කාලයේදී විශ්රාම ලැබිය. අප රටේ වාරි ශිෂ්ටාචාරය සහ තාක්ෂණය පිළිබඳව ගැඹුරුම හැදෑරීම කර ඇති විද්වතා ඔහුය.
------------------------------------------------
------------------------------------------------
මීට වසර 125 කට පමණ පෙර ලංකාවට පැමිණ අපගේ ඉතා පැරණි වාරි කර්මාන්ත පිළිබඳව විශිෂ්ට සටහන් තැබූ හෙන්රි පාකර් නම් බ්රිතාන්ය ජාතිකයා 1909 හි දී පළ කළ Ancient Ceylon නම් මහඟු ග්රන්ථයේ ලංකාවේ පැරණිම වාරි කර්මාන්ත නම් වූ ලිපියෙහි සඳහන් කොට ඇත්තේ වැව් තාක්ෂණය සමීපස්ථ රටින් මෙහි පැමිණ සිංහලයා අතින් දැවැන්ත කර්මාන්තයක් බවට වැඩුණු බවය.
It may be assumed therefore, that the formation of all reservoirs of a class with embankments much higher than those of simple village tanks was originally due to the constructive genius of the Sinhalese themselves (සරල වැව් බැම්මකට වඩා බොහෝ උස වූ ඉහළ නිපුණත්වයකට අයත් සියලු මහා වැව් ගොඩ නැගීම සිදුව ඇත්තේ සිංහලයන් තුළම වූ උත්කෘෂ්ට සහජ බුද්ධිය හේතුවෙන් බව මේ අනුව සැළකිය හැකිය) (පාකර්, 1909, පි 349 )
වැව කුමන ශිෂ්ටාචාරයකට අයත් වුවද සිංහල මහාවංශ කතාවේ වැවක් බැඳවීම පිලිබඳ ප්රථම ලිඛිත සටහන වනුයේ ලංකාවේ දෙවැනි රජතුමාගේ (පඬුවස්දෙව්) ඥාති පුත්ර අනුරාධ නම් කුමරුවකු අනුරාධපුර නගරයට දකුණින් වැවක් බඳවා ඇති බවය. මෙය ක්රි පූ 6 වැනි සියවසට අයත් වේ. මෙම වංශකතාව විජයගේ පැමිණීමට පෙර ලක්දිව වාපි ශිෂ්ටාචාරයක පැවැත්ම පිලිබඳ කිසිදු සටහනක් තබා නැත. එහෙත් විජයගේ පරපුර සමූලඝාතනය කරමින් රජ බවට පැමිණෙන පණ්ඩුකාභය අනුරාධපුර නගරය ගොඩ නැගු බවත් එහි වැව් කරවූ බවත් මහාවංශය සඳහන් කරයි.
විජයගේ පැමිණීමට පෙර ලක්දිව විසිරී සිටි යක්ෂ පරපුර වාරි කර්මාන්තයේ නිපුණයන් වූ බව ජනප්රබවාදවලින් කියැවේ. විජයගේ පරපුර සමූලඝාතනය කරමින් පණ්ඩුකාභය රජ බවට පත් කිරීමට උර දී ඇත්තේ ද මෙම යක්ෂ ගෝත්රි ක ශිෂ්ටාචාරයයි. මහාවන්ෂයේම සඳහන් වී ඇති අන්දමට පණ්ඩුකාභය අනුරාධපුර ආක්රාමණය සඳහා ගමන් ගත මාර්ගය සපුරා වැටී ඇත්තේ ගොවිතැනින් ආඪ්ය වූ සරුසාර යක්ෂ ගෝත්රික ප්රදේශ ඔස්සේය.
මින්නේරිය පුරාණ ගම් පුරා ඇති ජනප්රවාද තුළ මෙන්ම මින්නේරි මහසෙන් හත් රජ්ජුරු බණ්ඩාර රජුගේ දේවාත්මය වෙත ගැයෙන කෝල්මුර කවි තුළද අඩංගු වී ඇති ප්රවාදය වන්නේ ඔහු අනුරාධපුර නගරය අත හැර රිටිගල කන්දට විත් එතැන් සිට මින්නේරි නිම්නයේ ඇති ගල්ලිඳ කන්දට පැමිණ, ඉන්පසු දඹුලු කඳු රෑනේ නුවරගල කන්දෙහි මාලිගයකද වැඩ වාසය කරන කල්හි මෙම මින්නේරි වැව කරවූ නිම්නය සොයා ගත බවය. එවිට එහි වැවක් තිබු බවත්, එය වැද්දන් තිදෙනකුට අයත්ව තිබු බවත් තව දුරටත් කියැවේ. ඉතා පැණි රස වූ කිරි දෙන එළදෙනක් තන කන නිම්නය සොයා මෙම නිම්නයට පැමිණෙන රජුගේ ඇමතියෙක් නිම්නයේ ඇති වැව දකියි.
නික්ම ගොසින් දෙවි වැවට බසින්නේ
කිරි ඔය නන් දඬුවට බසිමින්නේ
වැදී පුත් තුන් දෙන වෙතට හැරෙන්නේ
ඉඟි කර දුනු තුන ගති මෙලෙසින්නේ
කිරි ඔය නන් දඬුවට බසිමින්නේ
වැදී පුත් තුන් දෙන වෙතට හැරෙන්නේ
ඉඟි කර දුනු තුන ගති මෙලෙසින්නේ
එම විට ඒ රජ මෙලෙස කියන්නේ
තොපට වරදකට නාමි කියන්නේ
අපගේ ගව දෙන සොයා වඩින්නේ
මෙලෙසට ඇමතිඳු වැදිට කියන්නේ
තොපට වරදකට නාමි කියන්නේ
අපගේ ගව දෙන සොයා වඩින්නේ
මෙලෙසට ඇමතිඳු වැදිට කියන්නේ
තලාවතුර ඔය දිග ඇවිදින්නේ
බලා එ රජ වැව සන්තොස වන්නේ
බලා එ රජ වැව සන්තොස වන්නේ
දැන් තොපගේ වැව පාලුව ඇත්තේ
උපමාවක් මම කියමි කියන්නේ
තනතුරු තොපහට දෙමිය කැමැත්තේ
ගම මට හිමි කර දී එක සත්තේ
උපමාවක් මම කියමි කියන්නේ
තනතුරු තොපහට දෙමිය කැමැත්තේ
ගම මට හිමි කර දී එක සත්තේ
මහසෙන් රජතුමා (ක්රි ව 274-304) රජ බවට පත්වන විට මින්නේරි ඔය ගලා බස්නා නිම්නයේ වැවක් තිබු බව ඉතා පැහැදිලිය. මන්ද යත් ඇලහැර (ආලිසාර) වාරි කර්මාන්තය, එනම්, මාතලේ නකල්ස් කඳුවැටියේ බෑවුම හරහා ඇදී එන අඹන් ගඟේ ජල ශාඛාවක් හරස් බැඳ එතැන් සිට සැතපුම් 22 ක් උතුරු දිශාවට මින්නේරි වැවට ආසන්න තලාවතුර ඔය දක්වා ගෙන එනු ලබන ඇල වසභ රජු (ක්රි ව 65 -109) කරවූ බව වංශකතා හෙළි කරන බැවින් මහසෙන් රජතුමා කරන්නට ඇත්තේ මින්නේරිය නිම්නයේ එකල තිබූ මුල් වැව වෙනුවට මින්නේරි ඔය එහි නිම්නයේ පහළ ස්ථානයකින් සිර කොට විශාල වැවක් තැනීමයි. එහි තිබූ මුල් වැව මහසෙන් රජු කරවූ මින්නේරි වැව තුළ ගිලි යන්නට ඇත. මින්නේරි නිම්නයේ තිබු එම මුල් වැවේ හිමිකරුවන් වැද්දන් ලෙස ජනප්රවාදයේ පැවතුණද, ඔවුන් පැරණි වාපි ශිෂ්ටාචාරයකට අයත් වූ පිරිසක් බව පැහැදිලිය.
මින්නේරිය වැවේ හා කවුඩුලු වැවේ භාරකාර ප්රවේණිගත පවුල් මුණගැසිය හැක්කේ මින්නේරියේ අඛණ්ඩව පැවති ගම් දෙකක් වන, උතුරු දිශාවට වන්නට කන්තලේ යෝධ ඇල හා ඒ සම්බන්ධ වැවක් වන රොටවැව මුලික පවුල් කිහිපයක් අතරය.
රොටවැව ගමේ මුලික පවුලක කවුඩුලු වැව් භාරකාරත්වයට උරුමකම් ඇති මව් පාර්ශවයේ මුලික පෙළපත් නාමය කවුඩුල්ලේ මුදියන්සේලාගේ යන්නයි.
මින්නේරිය වැවේ ප්‍රවේණිගත භාරකාරත්වය ඇති පවුල මින්නේරිය බණ්ඩාරවරුන් ලෙස හඳුන්වනු ලබන අතර, මින්නේරිය වැව පහළ වත්තේ ගම මැද්දේ ඔවුන්ගේ මුල් ගෙදර පිහිටා තිබිණි. මින්නේරි වැව් භාරකාරත්වය දැරූ මෙම පවුල, මින්නේරිය පුරාණ ගමේ අනෙක් මුලික පවුල් සහ රොටවැව සිටින වැව් රාජකාරියේ උරුමය පැවති මූලික පවුල් කවුඩුල්ල වැව් භාරකාරත්වය හිමිව සිට මින්නේරියට සංක්රමණය වී ඇති බව සිතිය හැකිය. මෙම සංක්රමණය සිදු වන්නට ඇත්තේ මීට අවුරුදු 300 කට පමණ ඉහතදී වන්නට පුලුවන. සංක්රමණයට බලපෑ හේතුව වන්නට ඇත්තේ කවුඩුලු වැව ඉතා ප්රබල ගංවතුරකට ගොදුරුව මැණික් සොරොව්ව සවි වූ ස්ථානයෙන් බැම්ම කඩාගෙන යාම විය හැකිය. මෙම බැම්මේ ඇති වූ කඩක්කරය ඉතා විශාල එකකි. මෙය යළි ගොඩනැගීමට අපොහොසත්ව කවුඩුල්ලේ ඉතිරි වී සිටි ආදී වාසීන් ස්වල්ප දෙනා සහ මෙම මුලික පවුල් ප්රදේශය අතහැර මින්නේරියට සහ රොටවැවට සංක්රමණය වන්නට ඇත. මෙම සංක්රමණය ඔප්පු කළ හැකි එක් ප්රධාන සාධකයක් වන්නේ කවුඩුල්ල වැවේ තීරණාත්මක බැමි කොටස ගොඩනැගීම හා සම්බන්ධ ජනප්රවාද සියල්ලම රොටවැව සහ මින්නේරිවාසීන් විසින් ආදේශ කරනු ලැබ ඇත්තේ මින්නේරිය වැව ගොඩනැගීම වෙත වීමයි.
කවුඩුලු වැවේ උරුමය පැවති එක සංක්රමණික පවුලක් ඔවුන්ගේ ආදිතම පෙළපත් නාමය කවුඩුල්ල වැද්දලාගේ බව පිළිගනිති.
මාතලේ කැරැල්ලට සම්බන්ධ වීම නිසා හෝ කැරැල්ල ඇති වූ ප්රදේශවල ඉංග්රී්සින් විසින් සිදු කරන ලද ඝාතන නිසා හෝ ප්රථමයෙන් මින්නේරියට සහ ඉන් පසු රොටවැවට සංක්රමණය වූ පවුලක් වෙත රැඳී තොරතුරු අනුව ඔවුන්ගේ මෙම සංක්රමණය සිදු වී ඇත්තේ සිය නෑදෑයන්ගේ රැකවරණය වෙතය. මීට වසර 150 කට පමණ පෙර මින්නේරියේ හා රොටවැවේ ඥාතිත්වය රැඳි, මාතලේ ප්‍රදේශයෙන් සංක්රමණය වූ මෙම පවුලේ පෙළපත් නාම වනුයේ හෙන්ඩත් හෙනරත් බණ්ඩාර සහ හන්පත් වැද්දලාගේ යන්නයි. හන්පත් වැද්දලාගේ යන පෙළපත් නාමය දරන්නේ මෙම සංක්රමණික පවුලේ මව් පාර්ශවයයි. එම පාර්ශවයේ මුල් ගම වී ඇත්තේ මාතලේ හුලංගමුවයි. මාතලේ කඩඉම් පොතේ ඇති සටහන් අනුව, ගොඩපොල විජයපාල රජු මාතලේට පැමිණ මාතලේ සිටින ප්රධානින් කවරහුදැයි විමසූවිට පැවසෙන එක් ප්රධානියකු වන්නේ හන්පත් වැද්දායි.
මහසෙන් රජතුමා පැමිණ අත්පත් කරගත් මින්නේරිය නිම්නයේ තිබුණු වැව අයිතිව සිටි වැද්දෝ තිදෙනෙක් තම ආදිතමයන් ලෙස රොටවැවේ ප්‍රවේණිවාසින් විසින් සළකනු ලබත්. මේ වැද්දන් තිදෙනා එකල එම ප්රදේශයේ පැවති ස්වාධීන ගෝත්රයක මූලිකයන් බව, ඔවුන් සම්මත රාජ්යයේ රජුට අවනත නොවීමෙන් සහ රජු ඔවුන්ගෙන් වැව ඉල්ලීමෙන් අනාවරණය වන කරුණකි.
මෙම පවුල් වෙත පවතින කුල ගර්වය, ඔවුන් සතුව පවතින සිංහල වෙදකම හා වැව් සම්බන්ධ තාක්ෂණික දත්ත රැගත් පොතපත ආදියත් ප්රවේණිගත දුනු හී ආදියත් ඔවුන් ලංකාවේ වාපි ශිෂ්ටාචාරයකට අයත් වූ මූලික ගෝත්රයක ජීවමාන පුරුක් බව පැහැදිලි කරන සාධකය.
කෙසේ වුවද, මින්නේරි මූලිකවාසින් සතු ජනප්රවාද, ඔවුන්ගේ පෙළපත් නාම හා ඥාතිත්ව හරහා අනාවරණය කරගත හැකි, සම්මත ඉතිහාසයෙන් අප්රකාශිත කරුණු සම්භාරයක් ඇති බව ඉතා පැහැදිලිය.
No comments:
Post a Comment