කෝට්ටේ රාජධානිය පිබිදීමක් ද සශ්‍රීකත්වයක්ද තිබුණු යුගයක් වුවද, එහි භෞතික සාධක අපට දක්නට ලැබෙන්නේ ඉතා අඩුවෙනි. බොහෝ සාධක පසු කාලීන නගර නිර්මාණය නිසා විනාශ වී ඇත. ඇතැම් දෑ, තවමත් නාගරික ජනපදවලට මැදිව අප්රකටව පවතී.
රාජගිරිය කෝට්ටේ මාර්ගයේ, අලකේශ්වර පාරෙන් ඇතුළට ගිය විට හමුවන අලකේශ්වර මාළිගය ද මෙවැනි අප්‍රකට ස්ථානයකි.
ගම්පොළ පස්වැනි භුවනෙකබාහු යටතේ (1372 සිට 1408), ප්‍රත්‍යන්ත පාලකයකු ලෙස වීර නිශ්ශංක අලකේශ්වර ප්‍රභූ රාජයා කෝට්ටේ සහ රයිගම ප්‍රදේශය පාලනය කළේය. ඒ සමයේ ආර්ය චක්‍රවර්ති කෝට්ටේ වෙත එල්ල කළ ප්‍රහාර දෙකක්ම සාර්ථකව මැඩපවත්වා රාජධානිය රැක දුන්නේද මේ ප්‍රභූ රාජයාය. අලකේශ්වරලා 13 වන සියවසෙහිදී මෙරටට සංක්‍රමණය වූ පවුලක් බවද, ඔවුන්ට මලයාලම් සම්භවයක් ඇති බවද කියැවේ. ඔවුහු මුලින් වෙළඳ කටයුතුවල නියැලී පසු කලෙක රාජ්‍යයේ උසස් තනතුරු දැරූහ.
කෙසේ වුවත්, ඔහු ජනතාව අතර දුෂ්ටයකු ලෙස සැලකුණු බවද කියැවේ. බේරුවලට පැමිණි චීන නාවික සෙන්පතියකු සමග ඇති කරගත් ගැටුමක් නිසා, ඊට වසර හයකට පසු 1411 හිදී ඒ සෙන්පතියා (ෂෙන් හෝ) නැවත පැමිණ අලකේශ්වර අත් අඩංගුවට ගෙන චීන අධිරාජයා වෙත ගෙන ගියේය. ඉන් පසු එම තනතුරට පත් වු කුමාරයා පසු කලෙක හය වැනි පරාක්‍රමබාහු නමින් ඔටුනු පළන් රජුය.
අලකෙශ්වරයන්ට චීන අධිරාජයා සමාව දී, පෙරළා එවූ බව චීන මුලාශ්රරවල කියවෙතැයි ඇතැම් විද්වතෙක් ප්‍රකාශ කරති. එහෙත් ඉන් පසු ඔහු අප්‍රකටය.
මෙහි දැක්වෙන ස්ථානය අලකෙශ්වරයන්ගේ මාළිගයේ නටබුන් වශයෙන්ද, ඔහුගේ සොහොන වශයෙන්ද මත දෙකක් ඇත. මෙහි හමු වී ඇති ඇතැම් ගෘහ ආම්පන්න නිසා, මෙය මාළිගයේ නටබුන් ලෙස ගැනීම වඩා සුදුසු විය හැකිය.
No comments:
Post a Comment