Monday, July 18, 2016

මගුල් මහා විහාරය



කාවන්තිස්ස රජුගේත්  විහාර මහා දෙවියගේත් අභිෂේකය සිදු වූ තැන හැටියට සැළකෙන මගුල් මහා විහාරය, වර්තමාන යාල අහය භූමිය ඇතුළත පිහිටා ඇත. යාල එදා වනයක් නොව ජනපදයකි. 


මෙම ස්ථානය ක්‍රි පූ දෙවන සියවස තරම් ඈතට දිව යන බවට සාක්ෂිවලින් සනාථ ව ඇත. මෙතැනට  ගෝටයිම්බර සෙනෙවියාගේ මුණුබුරකු වූ චුල්ලතිස්ස නම් ප්‍රධානියා (පරුමකවරයා) ලෙන් පූජාවක් කර ඇති බවට සෙල් ලිපියක් සාක්ෂි දරයි. 

මගුල් මහා විහාරය නමින් පොදු වහරේ හැඳින්වෙන ස්ථාන දෙකක් ඇත. අනෙක පිහිටා ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල ප්‍රදේශයේය. එහෙත් එය මීට පසු කාලයකට අයත් වුවකි. එය   කාවන්තිස්ස -විහාර මහා දේවි යුවලට ඈඳීමට හේතුව, එහි ඇති සෙල් ලිපියක කියවෙන විහාර දේවිය, විහාර මහා දේවිය ලෙස වරදවා ගැනීමයි. මේ විහාර දේවිය යනු සිව් වැනි සේන රජුගේ බිසවයි. 

ඒ අනුව කාවන් තිස්- විහාර මහා දේවි යුවළට සම්බන්ධ ස්ථානය මෙම යාල තුළ පිහිටි මගුල් මහා විහාරය බව පිළිගැනේ. එහෙත් මීට එකඟ නොවන විද්වත්හුද සිටිති. මේධානන්ද හිමියන් පවසන්නේ මෙකී අභිෂේකය සිදු වුයේ, ආරුගම් බොක්ක අසල ප්‍රදේශයේ පිහිටා ඇති මනි නාග පබ්බත විහාරයේ බවයි.

Saturday, July 16, 2016

රිදී කලේ රන් කොතලේ බීපු මට- නිකම් කලේ පැන් නැතිවිය පිපාසෙට- කොට්ට මෙට්ට ඇද ඇතිරිලි තිබුන මට- මෙහෙමත් කල යාද පළු වීර ගස් යට


අන්දරේ රාජාධිරාජසිංහ රජුගේ සේවයෙන් සමුගෙන  සිය ගම තොට බලා පැමිණෙමින් සිටියදී, වර්තමාන හම්බන්තොට තිස්සමහාරාමය පාරේ උඩමලලින් හැරී මඳ දුරක්  ගිය විට පෙනෙන  කුඩා වැව අසබඩ මේ සුන්දර ස්ථානයේදී සදහටම දෙනෙත් පියා ගත් බව ජන වහරේ කියැවේ.


Friday, July 15, 2016

ලක්දිව රක්නා සම්දිටු දෙවියන් පෙරහැර කාලෙට රැස් වෙන්නේ - කැප්පෙටිපොළ දෙවියන්දෝ හිමියනි එසබේ මුලසුන හොබවන්නේ

දැනට අනුරාධපුර කෞතුකාගාරයේ තැන්පත් කර ඇති මේ අලංකාර වස්ත්‍ර වීර කැප්පෙටිපොළ අදිකාරම්තුමන් පාවිච්චි කළ ඇඳුම් කිහිපයකි.

Saturday, July 9, 2016

දිවෙහි රාජ්ජේ සිංහල පිය සටහන්

මහා වංශයේ කියවෙන ලෙස, විජයගේ පිරිවර යාත්‍රා කරන විට, විජය සහ සත් සියයක් මිනිසුන් ලංකාද්වීපයට ගොඩ බසින අතර, ස්ත්‍රී පිරිවර සිටි නැව ගසාගෙන ගොස් වෙනත් යම් දුපතකට සේන්දු විය. එය මහිලාදීප නම් විය. මේ වත්මන් මාල දිවයින බව ඇතැමකුගේ මතයයි. ඔවුන්ගේම ජන ප්‍රවාද අනුව එහි පළමු රජු සිංහල කුමාරයෙකි. ඒ කතාන්දරය සැකෙවින් මෙසේය.

පෙර කල ලංකාවේ දුර බැහැර වනාන්තරයක් ආශ්‍රිතව යුවලක් දිවි  ගෙවුහ. බිරිය තෙමස් ගැබිණියක ව සිටියදී සැමියා මිය ගියේය. පසුව ලැබුණු දරුවාද හදා වඩා ගනිමින් සිටි මවද, දරුවා බිලිඳු අවධියේදීම මිය ගියේය. අසරණ වූ  දරුවා දණගාමින් පැලෙන් ඉවතට ගියේය. ඔහුට මුණගැසුනේ කුළු ගව රංචුවකි. දෙනුන්ගෙන් කිරි  බොමින් ඔහු කුළු ගව රංචුව ඇසුරේ වැඩුණි.

දිනක් මේ දරුවා මහා දැවැන්ත සර්පයෙක් ගල් ගුහාවකට ඇදී යනු දුටුවේය. ඔහුට එය හොඳින් සිහියේ රැඳීනි. මෙසේ කාලය ගතවනවිට රජ වාසල ගව පට්ටියට ගවයන් අල්ලා ගැනීම සඳහා ගව පට්ටිය භාර සේවකයන් පිරිසක් වන වැදුණහ. ඔවුන්ට මේ දරුවා දැක ගන්නට ලැබී, ඔවුහු රජුට ඒ ගැන දැනුම් දී,  රජුගේ නියමය පරිදි පසු දිනෙක දරුවා අල්ලාගෙන රජුට ඉදිරිපත් කළහ. රජු දරුවා මාලිගයේ නවත්වාගෙන ඔහු පෝෂණය කර ඔහුට ඉගැන්වීය. වසරක් යනවිට ඔහුට කතා කළ හැකි විය. 

ඔහුට රජ වාසල සියල්ලෝම  "කොයිමලා" යනුවෙන් ඇමතුහ. එහි තේරුම "මලක් වන් දරුවා" යන්නයි.  දිනක් රජු ඔහුගෙන් තම මව්පිය ඥාතීන් ගැන යමක් දන්නේදැයි විමසීය. "රජතුමනි, ඔබගේ රාජ පුරුෂයන් මා කැටුව ආවේ මාගේ ඥාතීන් සමග සිටින අතරය" යනුවෙන් ඔහු පිළිතුරු දුන්නේය. තමා  වනයේදී දුටු විශේෂ යමක් ඇත්දැයි විමසු විට කොයිමලාට සිහි වුයේ තමා දුටු දැවැන්ත සර්පයාය.  ඒ කතාව ඇසීමෙන් කුතුහලය  ඇවිස්සුණු රජු කොයිමලාද සෙනගක් පිරිවරාගෙන ඒ ගුහාව වෙත ගියේය. ගුහාව තුළට යාමට කිසිවකු ඉදිරිපත් නොවූ නිසා, කොයිමලා එය භාර ගත්තේය. ඇතුළට ගිය ඔහුට සර්පයා හමු නොවීය. එහෙත් ගුහාව ඇතුළත මැණික්වලින් පිරී තිබුණි. රජුගේ  පිරිවර  මේ මැණික් තොගය දවස් ගණනක් තිස්සේ නගරයට ඇද්දෝය. ඒ මැණික්වලින් රජ වාසල ගබඩා පිරී ගියේය. රජු තම ඇමතියන් කැඳවා, මේ මැණික් තමන්ට අයිතිදැයි ඇසීය. ඒවා අයිති කොයිමලාට බව ඇමතිවරු පෙන්වා දුන්හ. මැණික් තොගයට ලොබ බැඳී රජු, එය තමන්ට අයත් කර ගත හැකි ක්‍රමයක් කල්පනා කළේය. ඒ අනුව, රජුගේ දූ කුමරිය කොයිමලාට සරණ පාවා දෙනු ලැබුවාය. එහෙත් ඔහුට ඉන් පසු සිය මනාලිය දකීමටවත් නොලැබුණි. දැන් තමන්ට මේ වස්තුවට හිමිකමක් ඇත්දැයි රජු ඇමතියන්ගෙන් පිළිවිසීය.  මගුලේ තතු දත් ඇමතිවරු, මෙම මංගල්‍යයේ ස්වභාවය අනුව හිමිකමක් ඇති විය නොහැකි බව කීහ. වෙනත් විකල්පයක් නැති තැන රජු කොයිමලා ගෙන්වා තම අභිමතය පැවසීය. තමන්ටත්, තම මනාලියටත් නැව් තුනක් සාදා දී, ඊට අවශ්‍ය ආම්පන්න සහ සේවකයන්ද ලබා දී, ඒ නැව් තුනට වස්තුවෙන් කොටසක් පටවන ලෙස කොයිමලා ඉල්ලා සිටියේය. තමා රටින් පිට ව  යන බවත්, ඉතිරි වස්තුව රජුට තබා ගන්නා ලෙසත් ඔහු රජුට කියා සිටියේය. රජු ඊට එකඟ විය.

මෙසේ  නැව් නැග යාත්‍රා කළ කොයිමලාගේ පිරිසට කුඩා දුපත් දෙකක් දිස් විය. ඔවුහු එහි පදිංචිව නව රාජ්‍යය ඇරඹුහ. කොයිමලා පදිංචි වූ දුපත රස්ගෙතීමු ලෙස අදද හැඳින්වේ. එහි අර්ථය රජුගේ නුවර යන්නයි. කොයිමලාගේ රාජ්‍ය නාමය "ශ්‍රී මානාභරණ මහ රදුන්" බව ඔවුන්ගේ ජනප්‍රවාදවල කියැවේ. 

මානාභරණ මහ රදුන් (මහ රජු) ක්‍රි ව 1117 සිට  1141 දක්වා රජ කළ පසු රජ වූ  ඔහුගේ සහෝදරියකගේ පුත්‍රයා වූ භවනාධීත රජු මුස්ලිම් ආගම වැළඳ ගත්තේය. ඊට හේතුව වශයෙන් කියවෙන්නේ, රටට විපත් කල රන්නමාරි නම් මුහුදු රකුසකු පරාජය කිරීමට  මුස්ලිම් භක්තිකයකු (අරාබි ජාතිකයකු ) සමත් වීමයි. ඇතැම් ජන කතා අනුව, රකුසාට ඇඳ තිබුනේද රජුමය. කෙසේ හෝ රජු අතිශය සාහසික ලෙස බෞද්ධ සංස්කෘතිය කණ පිට හැරවීමට ක්‍රියා කළේය. මේ සිදු වීම ක්‍රිව 1153 හි දී සිදු වූ බව කියැවේ.  අවසානයට මුස්ලිම් ආගම වැළඳ ගත්තේ දකුණු කෙළවරේ පිහිටි අඩ්ඩු හෙවත් සීනු ඇටෝලය (දිවෙහි: අතොලු- දුපතට වඩා විශාල පරිපාලක ඒකකය) බව එහි වැසියෝ සිතති. ස්තුපවල නොසලකා හැරී නටබුන් කිහිපයක් අදටත් අප්‍රකටව තැන තැන ඇත. මාලේ කෞතුකාගාරයේ බෞද්ධ පුරා වස්තු කිහිපයක් තිබුණු අතර 2012 හි දී අන්තවාදී කණ්ඩායමක් ඒවා විනාශ කර දැමුහ. දැන් ඇත්තේ එම සිද්ධියෙන් පසු පිළිසකර කරගත් තුනක් පමණි. මාලේ (අග නගරය) සහ වෙනත් දුපත් අසල මුහුදෙහි බුදු පිළිම සහ පුරා වස්තු ඇති බව, විශ්වාස කරනු ලැබේ. ඒ ගැන අධ්‍යයනයක් සිදු වී නැත.  

මාල දිවයිනේ  භාෂාව (දිවෙහි බස) සිංහල බසින් දහවැනි සියවසේදී කැඩී ගිය දුහිතෘ බසක් ලෙස විල්හෙල්ම් ගයිගර් පඬිවරයා හඳුනා ගත්තේය. සමහරෙක් එය දොළොස් වැනි සියවසට ගනිති. එහි වචනවල ඇති සමානකම් සිත් ගන්නා සුළුය. එයින් කිහිපයක් පහත දැක්වේ. සම්පූර්ණ ලැයිස්තුවක් දක්වතොත්, එය දිවෙහි ශබ්දකෝෂයක් මෙන් වනු ඇත. 

ඊයේ, ගෙරි (ගවයා), මී ගොනු (මී ගවයා), මස් (මාංශ), උතුරු, දෙකුණු (දකුණු), රාජ්ජේ (රාජ්‍යය, රට), අලතු (අලුත්), කුරුම්බා, පෙන් (පැන් ),  අකුරු, නිකං, පාලං (පාලම), රා, සින්ගා (සිංහයා), මගු (මග), කුඹු (කුඹ ගස), මගේ, හඳු (සඳ), හෝනු (හූනා), දුවුන් (දුවනවා), අස් (අශ්වයා), මූදු (මුහුද), වික්කුන් (විකුණනවා), හෙලුවුන් (හොලවනවා), පාප (පාපය), කුරු (මිටි), මීහා (මිනිහා- පුද්ගලයා), ඒ , ඉඟිලි (ඇඟිල්ල), කුඩ (කුඩය), කිරුන් (කිරනවා), හුදු (සුදු), කලු, ලිවුන් (ලියනවා), එකෙ, තිනෙ (තුන ), හතරෙ, පහෙ, හයෙ, හතෙ, නුවයේ (නවය), දිහයෙ (දහය ), සාලිස් (හතලිහ), බුධ (බදාදා), බුරාහස්පති (බ්‍රහස්පතින්දා), හුකුරු (සිකුරාදා), හොනිහුරු (සෙනසුරාදා). 

සිය නිල ඉතිහාසයේ සඳහන් නොවුවද, මාල දිවයින අතීතයේ ලංකාවේ රජුගේ ප්‍රත්‍යන්ත පාලන ප්‍රදේශයක් ලෙස පැවතුනු බව ඇතැම් මාල දිවයින් වැසියෙක් ජනශ්‍රුති අනුව සිතති. එය අපගේ මුලාශ්‍ර අනුවද සත්‍යයක් නොවේ. ඇතැම් විට අතීතයේ මාල දිවයින් පාලකයන්,  සිංහල රජු බැහැ දකින්නට තෑගී බෝග රැගෙන පැමිණීම සිරිතක් වන්නට ඇත. 

 මේ රචකයාට හැඟෙන අයුරින් ඔවුන්ගේ ජනප්‍රවාදවලින් උකහා ගත හැකි කරුණු දෙකක් ඇත. එකක් නම්, තමන් ලංකාවේ ප්‍රත්‍යන්ත වැසියන් ලෙස  මාල දිවයින් මුතුන් මිත්තන් සිතන්නට  ඇත්තේ, මුස්ලිම් ආගමද  වැළඳගෙන සියවස් ගණනක් ගියත්, සිය මහ ගෙදර ගැන ඔවුන්ගේ ගෞරවයක් ඇති නිසා බවයි. අනෙක, ඔවුන් අපේ  රාජ්‍යය පරමාදර්ශීය රාජ්‍යයක් ලෙස සලකන්නට ඇති බවයි. සිරිත් නීතිය (පෙර සිරිත්) අනුව  තමන්ට හිමි නැති වස්තුව කොයිමලාගෙන් ලබා ගැනීමට රජුටද බැරිය . "ඔය සිංහල රාජ්ජේ රජ්ජුරුවන්ටත් හිතු මතේ නටන්න බෑ" මාල දිවයින් මුත්තන් තම දරුවන්ට කියා දෙන්නට ඇත. 

 

Wednesday, July 6, 2016

ගල් විහාරය - අප්‍රකට තතු කිහිපයක්

(ජායාරූපය උපුටා ගනු ලැබුවකි)
 
      මෙහි මුල් නම උත්තරාරාමයයි. මෙහි ආදී කතෘ මහා පරාක්‍රමබාහු රජුය. සැතපෙන පිළිමයේ ශීර්ෂය අද්දර ඇති හිටි පිළිමය හැර සෙසු පිළිම කරවා ඇත්තේ  ඔහුය. එම හිටි පිළිමය පසු කාලීන නිර්මාණයක් ලෙස සැළකේ. ඊට හේතුව ආදී මූලාශ්‍රවල මෙ ස්ථානය ගැන කියවෙන විට හිටි පිළිමයක් ගැන සඳහනක් නැති වීමයි. 

      මේ හිටි පිළිමය බුදුන් වහන්සේගේ පරිනිර්වාණ අවස්ථාවේ ශෝකයට පත්ව සිටිය ආනන්ද හිමියන්ගේ යි ඇතැමෙක් සිතුහ. දැන් පිළිගැනෙන අයුරින්  මේ "පර දුක්ඛ දුක්ඛිත" මුද්‍රාවෙන් වැඩ ඉන්නා බුදුන්මය. මේ මුද්‍රාව බිතු සිතුවම්වල හැර, ප්‍රතිමාවක දැකිය හැක්කේද මෙහි පමණි. මේ බුදුන් වහන්සේම බවට තවත් සාක්ෂි දෙකකි. එකක්නම්, බුදුන්ට හැර අන් කිසිවකුට නෙළුම් පාදමක් නොදීමයි. අනෙක මෙම හිටි පිළිමයට වෙනම ආවරණයක් තිබුණු බවට ගල් පර්වතයේ සාධක තිබීමයි. එනම්, මෙය සහ සැතපෙන පිළිමය එකම කෘතියක කොටස් දෙකක් නොව කෘතීන් දෙකක් බවයි. 

      ඇත්ත වශයෙන්ම මෙහි ඇත්තේ සැතපෙන ඉරියවුව නොවේ. මෙහි ඇත්තේ පිරිනිවන් පෑ බුදුන් වහන්සේගේ  ශ්‍රී දේහයයි. සැතපෙන ඉරියවුවත් මෙයත් අතර වෙනස් කම් කිහිපයක් ඇත. චීවරය කඩා හැලුණු ලෙසක් පෙනේ. දෙපා එක මට්ටමට පිහිටා නැත. කන්වල සහ හස්තයේ යම් වෙනසක් ඇත්දැයි මේ රචකයාට නිශ්චිතව මතක නැත. 

      පිරිනිවන් මංචක පිළිමයේ දකුණු බාහුවේ පතුරක් ගැලවී ඇත. එය දිගු කාලීන පාරිසරික බලපෑමකි. සමහරෙක් මෙය ප්‍රදේශයේ ඇති ජන ප්‍රවාදයකට සම්බන්ධ කරති.  එයට  අනුව සුදු ජාතිකයෙක් මීට ඉදිරිපස ඇති ගල් තලාවේ සිට තම රයිපලයෙන් පිළිමයට වෙඩි තැබීය.  එසැණින් පිටුපස වන රොදින් මතු වූ අලියෙක් ඔහු ඔසවා ගල් තලාවේම ගසා ඇත. මෙහි සත්‍යතාවය මේ ලියන සාමාජිකයා හරිහැටි  නොදනී. එහෙත් රයිපල් උණ්ඩයකින් විය හැකි හානියට සමාන යමක් බාහුවේ නොව පපුවේ වම් පස දැකිය හැකිය. එය පෙනෙන්නේ සමීපව නිරීක්ෂණය කළොත් පමණි.

දළදා සමිඳු වැඩ විසු දඹදෙණිය විජයසුන්දරාරාමය

මාඝගේ ආක්‍රමණයෙන් අඩපණව තිබුණු ජාතිය නැවත පණ ගස්වා වන්නි රාජා හෙවත් තුන්වැනි විජයබාහු වර්ෂ 1232 හි දී දඹදෙණිය රාජ්‍යත්වයට පත් විය. එතැන් සිට ඇරඹෙන්නේ අනේක විධ දුක් ගැහැට මධ්‍යයේ තම ස්වෛරීත්වය රැක ගත් ජාතියක කතාන්තරයයි. ඔවුහු පෙර දවස මෙන් මහා වාපි කර්මාන්තයන් නොකළහ. මහා දාගැබ් වෙහෙර විහාර ඉදි නොකළහ. ඊට අවශ්‍ය දැනුමද සවියද ඔවුනට නොවීය. එහෙත් ඔවුහු තමන්ට හැකි පරිද්දෙන් ශාසනික, සමාජයීය කටයුතු නොපිරිහෙලා ඉටු කළහ. ඒ ධෛර්යයටත් ජාති වාත්සල්‍යයටත් නිසි ගෞරවය ලැබිය යුතුය. 


තුන්වැනි විජයබාහු රජු ජාතියේ ස්වෛරීත්වය නැවත පිහිටවුවද, තීරණාත්මක ලෙස මාඝ  පරාජය කළේ ඔහුගේ පුත්‍රයාය. නන් බඹර කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත දෙවැනි පැරකුම්බාවන් වඩා ප්‍රකට පඬිවරයකු ලෙසය. එහෙත් ඔහු සියලු ශාස්ත්‍රීය සහ ශාසනික සේවා අතරතුර මාඝ මෙන්ම චන්ද්‍රභානු නම් ජාවක (වර්තමාන මැලේසියාව) ආක්රමනිකයාටද මුහුණ දී රට රැක්කේය. සිය පියා ඉදි කළ දඹදෙණිය විජයසුන්දරාරාමයේ තෙමහල් දළදා මැදුරක් කරවූ ඔහු, පියාණන් විසින් බෙලිගල වඩා හිඳවූ දළදා වහන්සේ එහි වැඩමවීය. මෙය මුලින් තෙමහල්ව තිබී, කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවස මීගස්තැන්නේ අධිකාරම් විසින් පිළිසකර කිරීමේදී දෙමහල් කරවා ඇත.


මෙහි බෝධිය අසළ ඇත්තේ සපු වෘක්ෂයකි. පැරකුම්බා දවස, බෝධියත්  මේ සපු බෝධියත් අතර දළදා වහන්සේ පෙළහර පෑ බව කියැවේ. ඇත්ත වශයෙන්ම එදා තිබුනේ මේ සපු වෘක්ෂය නොවේ. මෙම වෘක්ෂය පසු කාලීනව රෝපණය කරන ලද්දකි.






චේතියඝරය සහිත කුඩා ස්ථුපය 
 



 මෙහි චේතියඝරය ඉදිරියේ කනප්පුවක් මෙන් පිහිටුවා ඇති සෙල් ටැඹ, එකල විශේෂ පූජෝත්සවවලදී දළදා වහන්සේ  පිටතට වැඩමවූ අවස්ථාවලදී වඩා හිඳුවීමට භාවිතා කරන ලදී.













 එකල රජ මාළිගයද පිහිටා ඇත්තේ  මීට නුදුරින් ඇති, අඩි 275 පමණ උසැති  මාළිගා ගල මතුපිටය. 
                                                            
                                                       
මාළිගාගලට යන පිය ගැට පෙළ
                      
දුරින් පෙනෙන ගල් තලාව රාජ සභා මණ්ඩපය පිහිටි තැනයි. පිය ගැට පෙළ ඇත්තේ ඊට පිටුපසිනි.






මාළිගාවේ නටබුන්

























මෙම පර්වතය වඩුවා කෙටු ගල ලෙස හැඳින්වේ. මෙය ඇත්තේ කුරුණෑගල මීගමුව මාර්ගයේ අනෙක් පසට වන්නට මඳ දුරකිනි. අතීතයේ වධක ස්ථානයක් බව ජනප්‍රවාදවල කියැවේ. ඊතලයෙන් දක්වා ඇති කොටසේ පඩි පෙළක් ද කොටා ඇත.

සංඛපාල රජ මහා විහාරය

පෙර කාවන්තිස්ස රජු කල, සිතුල් පව්ව ආශ්‍රිත කපිට්ඪ නම් ගමක් විය. එහි විසු අත්පල නම් කුල පුත්‍රයාට පුස්සදේව නම් පුතෙක් විය. ඔහු කුඩා කල, ගමේ මිතුරන් සමග පන්සල් ගිය විටෙක හක් ගෙඩියක් ගෙන පිම්බේය. ඒ මහා අසනිපාත රාවය ඇසු සියල්ලෝ උමතු වන තරම් බිය වැදුණහ. එතැන් පටන්ඔහු උන්මාද පුස්සදේව නම්  විය. 
  ඔහු පසුව තම පියාණන් වෙතින් දුනු ශිල්පය උගෙන එහි කෙල පැමිණියේය. ඔහුට ශබ්දයෙන්ද, අකුණු එළියෙන්ද ඉලක්කය ගත හැකි විය. අඟල් සොලොසක දිඹුල් ලීයක් හෝ අඟල් දෙකක යකඩයක් හෝ අඟල් සතරක ලෝහ තහඩුවක් හෝ පාසා කළ හැකි විය. ඔහුගේ හීය ගොඩ අට ඉස්බක් යයි; දියෙහි ඉස්බක් යයි. (ඉස්බක් යනු රියන් 140කි). කාවන්තිස්ස රජු තරුණ පුස්සදේව ගැන අසා රජ වාසල සේවයට බඳවා ගත්තේය.


පුස්සදේව කිසි දා ඉලක්කය නොවැරැදුණු ධනුර්ධරයෙකි. ඒ වන විට ඔහු භද්‍ර යෞවනයේ සිටි සෙනෙවියකු විය යුතුය. දුටුගැමුණු රජු ඔහුට "මලනුවනි" යනුවෙන් ආමන්ත්‍රණය කරන දෙබසක් මහා වංශයේ එයි.









පුස්සදෙවයෝ යුද්ධයෙන් පසු ගම්වර ආදියෙන් පිදුම් ලැබුහ. ඔහුගේ ගම්වරය ඇඹිලිපිටිය ආසන්නයේ පල්ලේබැද්දේ අක්කර 12,000 පුරා පැතිර තිබිණි. එහි විහාරයක් ඉදි කළ පුස්සදේව සෙනෙවියෝ, තමා යුද කාහලය නැංවූ සංඛය,  විහාරය තැනු කන්දෙහි නිදන් කළහ. පසු කලෙක තෙමේද සසුන් ගතව සසරින් එතෙර විය.





ඔහු කරවූ විහාරයේ , වර්තමාන සංඛපාල රජ මහා විහාරයේ, ඇති ලෙන් අතර, පුස්සදෙව සහ තවත් අය (ගෘහපති ගුප්ත ආදී) ලෙන් පූජා කළ බවට කටාරම් ලිපි ඇත. එක් කටාරමක යටින් හක් ගෙඩියක සලකුණක් කොටා ඇත. මහනුවර යුගයේදී, මෙම පුද බිම සුප්‍රකට පඬිරුවනක් වූ කොරතොට ධම්මාරාම හිමියන්ට රාජාධිරාජසිංහ රජු විසින් පූජා කරන ලදී.




මීට කිලෝමීටර දෙකක් පමණ දුරින් ඇති නටබුන් වූ ස්ථුපයක්, පුස්සදේව රහතන් වහන්සේගේ සොහොන ලෙස විශ්වාස කරනු ලැබේ. කෙසේ වුවද, මේ රචකයාගේ මතකයේ හැටියට, වලපනේ ප්‍රදේශයේ (ලංගම ඩිපෝව අසළ ) ඇති කුඩා ස්ථුපයක්, පුස්සදේව රහතන් වහන්සේගේ සොහොන හැටියට ප්‍රදේශවාසින් විසින් සලකනු ලැබේ. ඔවුන් සලකන්නේ උන් වහන්සේ ඒ ප්‍රදේශයේ වැඩ සිටි බවකි.

ජයාරූප උපුටා ගැනීම Explore Sri Lanka සඟරාවෙනි.

නුතන කොලොම්පුර හුදෙකලා වූ ප්‍රභූ රාජයකුගේ මතකය

කෝට්ටේ රාජධානිය පිබිදීමක් ද සශ්‍රීකත්වයක්ද තිබුණු යුගයක් වුවද, එහි භෞතික සාධක අපට දක්නට ලැබෙන්නේ ඉතා අඩුවෙනි. බොහෝ සාධක පසු කාලීන නගර නිර්මාණය නිසා විනාශ වී ඇත. ඇතැම් දෑ, තවමත් නාගරික ජනපදවලට මැදිව අප්‍රකටව පවතී.
රාජගිරිය කෝට්ටේ මාර්ගයේ, අලකේශ්වර පාරෙන් ඇතුළට ගිය විට හමුවන අලකේශ්වර මාළිගය ද මෙවැනි අප්‍රකට ස්ථානයකි.
ගම්පොළ පස්වැනි භුවනෙකබාහු යටතේ (1372 සිට 1408), ප්‍රත්‍යන්ත පාලකයකු ලෙස වීර නිශ්ශංක අලකේශ්වර ප්‍රභූ රාජයා කෝට්ටේ සහ රයිගම ප්‍රදේශය පාලනය කළේය. ඒ සමයේ ආර්ය චක්‍රවර්ති කෝට්ටේ වෙත එල්ල කළ ප්‍රහාර දෙකක්ම සාර්ථකව මැඩපවත්වා රාජධානිය රැක දුන්නේද මේ ප්‍රභූ  රාජයාය. අලකේශ්වරලා 13 වන සියවසෙහිදී මෙරටට සංක්‍රමණය වූ පවුලක් බවද, ඔවුන්ට මලයාලම් සම්භවයක් ඇති බවද කියැවේ. ඔවුහු මුලින් වෙළඳ කටයුතුවල නියැලී පසු කලෙක රාජ්‍යයේ උසස් තනතුරු දැරූහ.
කෙසේ වුවත්, ඔහු ජනතාව අතර දුෂ්ටයකු ලෙස සැලකුණු බවද කියැවේ. බේරුවලට පැමිණි චීන නාවික සෙන්පතියකු සමග ඇති කරගත් ගැටුමක් නිසා, ඊට වසර හයකට පසු 1411 හිදී ඒ සෙන්පතියා (ෂෙන් හෝ) නැවත පැමිණ අලකේශ්වර අත් අඩංගුවට ගෙන චීන අධිරාජයා වෙත ගෙන ගියේය. ඉන් පසු එම තනතුරට පත් වු කුමාරයා පසු කලෙක හය වැනි පරාක්‍රමබාහු නමින් ඔටුනු පළන් රජුය.
අලකෙශ්වරයන්ට චීන අධිරාජයා සමාව දී, පෙරළා එවූ බව චීන මුලාශ්‍රරවල කියවෙතැයි ඇතැම් විද්වතෙක් ප්‍රකාශ කරති. එහෙත් ඉන් පසු ඔහු අප්‍රකටය.
මෙහි දැක්වෙන ස්ථානය අලකෙශ්වරයන්ගේ මාළිගයේ නටබුන් වශයෙන්ද, ඔහුගේ සොහොන වශයෙන්ද මත දෙකක් ඇත. මෙහි හමු වී ඇති ඇතැම් ගෘහ ආම්පන්න නිසා, මෙය මාළිගයේ නටබුන් ලෙස ගැනීම වඩා සුදුසු විය හැකිය.


කාචයක සටහන්- විසිවන සියවසේ මුල

අනුරාධපුරයේ සහ පොළොන්නරුවේ ස්ථාන කිහිපයක් විසිවන සියවස මුලදී (එක් දහස් නවසිය ගණන්වල ආරම්භයේදී) තිබුණු අයුරු මෙම ජායාරූපවල දැක්වෙයි. උපුටා ගැනීම පහත දැක්වෙන කෘතියෙනි.
කෘතිය: Twentieth century impressions of Ceylon: Its history, people, commerce, industries and resources
සංස්කරණය ආනෝල්ඩ් රයිට්
ප්රකාශිත වසර: 1907
ප්රකාශනය Lloyds Greater Britain Publishing Company Ltd, ලන්ඩන් .
නැවත මුද්රණය 1999,
නැවත මුද්රණයේ ප්රකාශනය: Asian Educational Services, නව දිල්ලිය
ISBN 13: 9788120613355










ගල් කැටයමක රූ සිරි

කාලිංග මාඝගේ ආක්‍රමණයෙන් රජරට බිඳ වැටෙන විටද සුභ නම් සෙනෙවියකු මාඝට හිස නොනමා යාපහුවේ බලකොටුවක් තනාගෙන අවට ප්‍රදේශය මාඝට බිලි විය නොදී රැක්කේය. ඔහුගේ නමින් පව්ව සුභ පබ්බත නමින්ද හැඳින්විණි. යාපහුව රාජධානියක් ලෙස පැවතුනේ පළමුවැනි භුවනෙකබාහු රජුගේ කාලයේදී පමණ (වසර 11 පමණ ).
එහෙත් යාපහුවට ඊට වඩා බෙහෙවින් පැරණි ඉතිහාසයක් ඇත. එහි ක්‍රි. පූ තුන්වැනි සියවස තරම් ඈත කාලයකට අයත් සාධක ද ඇත. ඊට කිලෝමීටර තුනක් පමණ දුරින් පින්වැව ප්‍රදේශයේ, මැටි බරණිවල භෂ්මාවශේෂ වලලා ඒ මත ගල් ස්මාරක ඉදි කළ ඉපැරණි සොහොන් බිමක්ද ඇත. එහිදී යකඩ මෙවලම්ද සොයාගෙන ඇත. එය ක්රි. පූ. 450 ට පමණ අයත් වෙතැයි සැළකෙයි.

මෙහි පෙනෙන්නේ යාපහුව දළදා මාළිගයේ, සෙල්මුවා සී මැදුරු කවුළුවයි. මෙවැනි කවුළු දෙකක් ඇත. එකක් හමුවනවිටද කැඩී බිඳී එතනම වැටී ඇත. අනෙක හොඳ තත්ත්වයෙන් තිබුණු අතර දැන් ඒ අසල කෞතුකාගාරයේ තබා ඇත. මෙය ගල් කැටයම් අතර මුදුන් මල් කඩක් සේ සැළකෙයි. එහි ඉතා සියුම් ලෙස කුඩා රූ හතලිස් පහක් කැටයම් කර ඇත. ඒ අතර සත්ව, කුරුළු, මිනිස් මෙන්ම සූර්ය රුවද ඇත. එක් පැත්තක ඇති රූපය එලෙසම අනෙක් පැත්තේද නෙලා තිබේ.







යාපහුව කී සැණින් සිහියට නැගෙන්නේ යාපහුවේ සිංහ රූපයයි. එහෙත් මේ ගජ සිංහයෙකි. මකරකු බව ඇතැමකුගේ මතයයි. ඊට කාම්බෝජ ආභාෂය ඇති බැව් විද්වත්හු කියති. මෙහි කැටයම්වලට ජාවා රටේ ආභාෂයක් ඇති බවක් පරණවිතාන සූරීහු සිතති.





උග්ගල් අලුත් නුවර ඓතිහාසික කොස් රුප්පය


උග්ගල් අලුත් නුවර දේවාලය අදටත් නොකිලිටි භක්තියෙන් පුද සත්කාර වතාවත් කරමින් පවත්වාගෙන යන කතරගම දෙවිඳුන්ට කැප කළ දෙවොලකි; සුන්දර, සැනසිලිදායක, දෙවියන්ටද ප්‍රිය උපදවන අන්දමේ තැනකි.
මේ දේවාලය ඉදිකර ඇත්තේ සීතාවක රාජසිංහයන්ට  සමකාලීනව මේ ප්‍රදේශය පාලනය කළ යාපා නම් ප්‍රාදේශීය කුමාරයෙකි. ඇතැම් ප්‍රාදේශීය ජනප්‍රවාදවලට අනුව, මෙය කතරගම මහසෙන් දෙවියන් මිනිස් වෙසින් වසන කාලයේදීද සමහර විටෙක රාජ සභාවන් පැවැත්වූ තැනකි. දේවාල මළුවේ ඇති තනි පොල්ගස ඇති තැන පුරාණ
උමගක් තිබුණු බවට විශ්වාසයක් ඇත. මෙය පිහිටා ඇත්තේ බලන්ගොඩ සිට රත්නපුර මාර්ගයේ,  බලංගොඩ නගරයේ සිට කිලෝමීටර 8 පමණ දුරින් දකුණට ඇති අතුරු මාර්ගයකය.






මෙය පසෙකින් බොහෝ වයස්ගත කොස් වෘක්ෂයක් ඇත. බොහෝ දෙනා සිය දුක් ගැනවිලි කියා එහි බාර ගැට ගසති. පෙර කී යාපා කුමරු (යාපා රජු) සීතාවක රාජසිංහයන් සමග ගැටුමක් ඇති කරගෙන ඇත. ඒ වනවිටද මෙහි යම් පුජනීය ස්ථානයක් තිබුණු බව සිතිය හැකිය. සටන යාමට පෙර යාපා රජු මෙම කොස් වෘක්ෂය වෙත බාරයක් විය. සටනින් දෙපාර්ශවයම ජයක් නොලද්දාහ. රාජසිංහ රජු, යාපා රජු සමග ගිවිසුමකට එළඹීමට කැමැත්ත පළ කළේය. සිය බාරය ඔප්පු කරනු වස් යාපා රජු මේ දේවාලය කරවීය.
මෙම කොස් වෘක්ෂයට සත්කාර කරනු වස් අතීතයේ රාජකාරි භාර ප්‍රදේශවාසීහු සිටියහ. සිරි මා බෝ සමිඳුන් හැරුණු කොට රාජකාරි කැප කර තිබුණු එකම වෘක්ෂය මෙයයි.





මහලුව දිරාපත් කඳින් යුතු වුවද නොවෙනස් තපෝ ගුණය දක්වන මේ වෘක්ෂ රාජයෝ අදත් බැති සිතින් එන මිනිසුන්ගේ දුක් ගැනවිලි කුළුණින් අසති.

රුසිරු පෙතන්ගොඩ උයනට වැඩියාය- නපුරු උණ කටුව පතුලේ ඇනුණාය- එක්ව සිටි සැවොම වට වී මතුළාය- රාජසිංහ දෙවි නාමෙත් මැකුණාය

 කොළඹ පෘතුගීසි කොටු බැම්ම දෙදරවාගෙන උපන්, පෘතුගීසින්ට අත් මිදිය නොහැකි බියකරු සිහිනයක් වූ සීතාවක සිංහයා මෙහි සැතපෙන්නේය.
මායාදුන්නේගේ පුත්‍රයා වූ සීතාවක රාජසිංහ හෙවත් පළමුවැනි රාජසිංහයෝ උපන් ගෙයි රණ ශුරයෙක් වූහ. ඔහු උපන් දින පෘතුගීසි බලකොටුවේ බැම්ම පිපිරුණු බව ජනප්‍රවාදවල කියැවේ. ටිකිරි කුමාරයා මුලින්ම රණ බිමට යන්නේ නව වැනි වියෙහිදීය. හේ තරුණ අවධියේ මුල්ලේරියාවේදී පෘතුගීසින්ට සිය ආක්‍රමණ ව්‍යපාරරයේදී අත් විඳි කටුකතම පරාජය අත් කර දුන්නේය. සටනින් පසුව ටිකිරි කුමාරයාට සතුරු ලේ මිදී අතට ඇලුණු කඩුව ගලවා ගන්නට අත පොඟවන්නට සිදු වූ බව කියැවේ. ඔහු පෘතුගීසි සේනාව බලු බළල් මස් (ඇතැම් ජනප්‍රවාද අනුව මිනී මස්ද) කා දිවි ගැට ගසා ගන්නා තරමට අසරණ කළේය. අවාසනාවට ඔහුට නාවික බලයක් නොතිබුණි නිසා, දිගින් දිගටම ගෝවෙන් එන ආධාර නැවැත්විය නොහැකි විය.
ඔහු පිතෘ ඝාතකයෙකැයිද, ශාසන විලෝපකයෙකැයිද කියති. එහෙත් ඇතැමෙක් මෙය නොපිළිගනිති. ඇතැම් මුලාශ්‍ර  සහ ජනප්‍රවාද කියන්නේ මායාදුන්නේ රජු අසු වියක් (හෝ අසු එකක් ) ආයු වළඳා අභාවප්‍රාප්ත වූ බවයි. ඇතැම් ජනප්‍රවාදයකට අනුව, රාජසිංහයන් අතින් පියා මිය ගියද එය හුදෙක් අත් වැරද්දක් පමණි. ටිකිරි කුමරු පාලු කමතක කඩු සරඹ කරමින් සිටියේය. මායාදුන්නේ රජු මෙය දැක පිදුරු ගොඩකට මුවා වී බලා සිටියේය. කුමාරයා විවේකයක් ගන්නට සිතා අසළ තිබුණු පිදුරු ගොඩක තම කඩුව ඇන්නේය. එසේම ඔහු කලැයි කියල ශාසන විලෝපනයද කරුණු වරදවා දැක්වීමක් බව ඇතැමෙක් කියති. එය තමාට විරුද්ධකම් දැක්වූ භික්ෂුන් වහන්සේලා පිරිසක් කෙරෙහි කළ පලිගැනීමක් විනා ඇත්තෙන්ම ශාසන විලෝපනයක් නොවන බව සමහරෙක් පවසති.
ඔහු පසු කලෙක කන්ද උඩරට යටත් කර ගත්තේය. එහිදී හිටපු පාලකයා කරල්ලියද්දේ බණ්ඩාර සිය දරු දෙදෙනාත් සමග පෘතුගීසීන්ගේ රැකවරණයට පළා ගියේය. එයින් පසු කලෙක රාජසිංහයෝ කොළඹ කොටුව වෙත අති බිහිසුණු ප්රහාරයක් දියත් කළහ. ඔහුගේ මුළු අවධානයම එහි ගැලී තිබෙන අතර, කන්ද උඩරට ඔහුට විරුද්ධව යම් නොසන්සුන්තාවයක් හට ගති. මීට රාජසිංහයන්ගේ උදහසට ලක් වුයේ වීරසුන්දර බණ්ඩාර නම් ප්‍රාදේශීය ප්‍රභූවරයෙකි. රාජසිංහ රජු වීරසුන්දර බණ්ඩාරයන්ට පණිවිඩයක් යවා ගෙන්වා, අතර මගදී ඔහු බොරු වලක දමා මැරවීය.
වීරසුන්දර බණ්ඩාරගේ පුත් කොනප්පු බණ්ඩාර පළමුවැනි විමලධර්මසූරිය නමින් පසුව කන්ද උඩරට බලය ලබාගෙන රාජසිංහයන්ට මුහුණ දුන්නේය.  අනභිබවනීය රාසිං දෙවියෝ පැරදුනහ. බලන දුර්ගයේදී ඔහුගේ සේනාව බිඳී සී සී කඩ පලා ගියහ. රාජසිංහයෝ අසල සිටි හිතෛෂීන් කිහිප දෙනා ඇමතුහ. “මගේ ජීවිත කාලයටම මම රජකු නොදිටිමි. අද මා දුටුවේ ආනුභාව සම්පන්න රජෙකි. මාගේ කාලය අවසන්ය”.
රාජසිංහයෝ පසු බැස්සහ. පෙතන්ගොඩ උයන (රුවන්වැල්ලේ සිට ගලපිටමඩ දෙසට එන විට සියඹලාවලට නුදුරින්) පසුකර යන අතර උණ කටුවක් ඇනී රජු ඔත්පල විය. ඒ ගැනද විවිධ පුරාවෘත්ත සහ මුලාශ්‍ර ඇත. එකක් නම් රජු සර්ප දෂ්ටයකට ලක් වූ බවයි. අනෙක, රජු කෙරෙහි ක්‍රෝධයෙන් සිටි දොඩම්පේ ගණිතයා සහ රජුගේ මුනුබුරා තුවාලය පැසවන්නට සැලැස්වූ බවයි. මේ මුනුබුරා වන රාජසුරිය කුමාරයා රජුගේ තුවාලය පැසවන සේ විෂ ද්‍රව්‍ය බැන්දවූ බව යාපනයෙන් ලැබුණු පුස්කොළ ලිපියකින්ද තහවුරු වෙතැයි ආචාර්ය පෝල් ඊ පීරිස් මහතා පවසයි. කෙසේ හෝ, අතිශය ලැදි සිවු දෙනෙක් රජු එහි සිට පාරුවක නංවාගෙන කැළණි ගඟ දිගේ යාත්‍රා කළහ. අතර මගදී රාසිං දෙවියෝ කලුරිය කළහ. සෙසු සිව් දෙනා ඒ අසල ඉවුරට නුදුරු තැනක දේහය භූමදානය කළහ. මෙය සීතාවකපුර අපනයන සැකසුම් කලාපයට නුදුරින්, ගුරුගල්ල මංසන්ධියේ සිට තල්දුව දෙසට යන මග අතරමග පිහිටා ඇත.
බිහිසුණු රණ බිම් අරා සිය ඔද තෙද පැතිරවූ රාසිං දෙවියෝ, රණ බිමක හෝ සිරි යහනක් මත හෝ නොව ඔත්පලව සිට පාරුවක අවසන් හුස්ම හෙලුහ . ඔහු අවසාන සටනේදී තම ප්‍රතිවාදියා ගැන කළ තක්සේරුව ඉතිහාසය විසින් සනාථ කරන ලදී.
කෙසේ වුවද, මීට වෙනස් ජනප්‍රවාද සහ මුලාශ්‍ර ද ඇත . ඇතැම් ජනප්‍රවාදයකට අනුව, මෙහි මිහිදන් කොට ඇත්තේ වීරසුන්දර බණ්ඩාරයි.තවත් අයකුට අනුව, රාජසිංහයන් ආදාහනය කරන ලද්දේ වැලිවිටියේ හිඟුරමෝදරවත්ත නම් ස්ථානයේදීය.
රාජසිංහයන් මරණින් පසු ගනේගොඩ දෙවියන් නමින් දේවත්වයට පත් වූ බව විශ්වාස කැරෙයි. කොළඹ යටියන්තොට මාර්ගයේ කරවනැල්ල හන්දිය අසල පිහිටා ඇති, රාජසිංහයන් විසින් කරවන ලදැයි සැලකෙන කබුලුමුල්ලේ පත්තිනි දේවාලයෙහි ගනේගොඩ දෙවියෝද පිදුම් ලබති. ගනේගොඩ දෙවියන්ට කැප කළ දෙවොලක් හාපිටිගම් කෝරලයේ (මීරිගම ආශ්‍රීත ප්රදේශය) ඇතැයි අසා ඇතද ඒ ස්ථානය මේ ලියන සාමාජිකයා නොදනී.